Thursday, October 31, 2024
Follow Us
කෝටි 1500ක පිරමීඩ ජාවාරමක්

ස්පෝර්ට්ස් චේන් පරිගණක මෘදුකාංගයෙන් ජනතාව රැවටූ හැටි


විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසක් සූක්ෂ්ම ලෙස රවටා සිදු කළ රුපියල් කෝටි 800 කට අධික මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම මහා පරිමාණ පිරමීඩ වංචාවට මෙරට මෙන්ම විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද හසුවී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

මෙම ජාවාරමේ සමස්ත වංචාව රුපියල් කෝටි 1500 ඉක්මවිය හැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

මෙම පිරමීඩ ජාවාරමේ නිරත වූ ප්‍රධානීන් 05 දෙනකුට විදේශගතවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක, නියෝගයක්ද නිකුත් කළේය.

මෙම ජාවාරමේ සමස්ත වංචාව රුපියල් කෝටි 1500 ඉක්මවිය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

ඒ පිළිබඳ විදෙස් පුවත් සේවා මගින් ද ඉකුත් දිනවල තොරතුරු වාර්තා කර තිබිණි.

කොළඹ පිහිටි රමාඩා ඇතුළු තරු පන්තියේ හෝටල්වල සම්මන්ත්‍රණ කැඳවමින්, පිරමීඩ ජාවාරම්කරුවන් විවිධ වෘත්තීන්වල නිරතවන පුද්ගලයන් ඒකරාශී කරගෙන තිබේ.

එලෙස ජනතාව ඒකරාශි කිරීමෙන් අනතුරුව ‘ස්පෝට්ස් චේන් සොසයිට් ශ්‍රී ලංකා’ නමින් සමාජයක් පිහිටුවා ‘ස්පෝර්ට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

එම මෘදුකාංගය හරහා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති කරමින් එම මෘදුකාංගය හරහා මුදල් යෙදවීමට පිරමීඩ ජාවාරම්කරුවන් අදාළ පිරිස පොළඹවා තිබේ.

ඒ අනුව ජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල්, පිරමීඩ ජාවාරම්කරුවන් ලබාගෙන තිබේ. මෙම ඡාවාරාමට හසු වූ ඇතැම් පුද්ගලයන්, තම පවුලේ සාමාජිකයන්ට පවා නොදන්වා තම දේපොළ විකුණා මුදල් ආයෝජනය කර ඇතැයිද වාර්තා වේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින්, ඊට අදාළ විමර්ශන කටයුතු සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටි අතර, එම වංචාවන්ට හසු වූ පුද්ගලයකු වන මොරටුව, එගොඩඋයන පදිංචි සුදත් රන්ජන් ද සිල්වා, නීතිඥ නලීන් පතිරණ මගින් අධිකරණය වෙත පුද්ගලික පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, කරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, ගිරිබාව පදිංචි මංජුල මැදවත්ත, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර යන පස් දෙනාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නියෝගයක් නිකුත් කළේය.

Aruna