ගණන් උඩ ගිය උඩරට එළවළු
කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 1,400ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එළවළු මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසයි.
මේ අතර බිත්තර සඳහා නිශ්චිත මිලක් ලබා ගැනීම වෙනුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද
අමරවීර අතර සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ පැවැත්වුණි.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙසත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් ලෙසත් නියම කෙරුණි.
කෙසේවෙතත් පසුව බිත්තර නිෂ්පාදකයින් සහ විෂයභාර අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලදී තීරණය කෙරුණේ රුපියල් 50කට බිත්තරයක් අලෙවි කිරීමටය.
ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ විවිධ මිල පරාසයන් යටතේ බිත්තර අලෙවි කෙරේ.
මේ අතර කුකුළු මස් කිලෝවක සිල්ලර මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.
පිටකොටුව කුකුළු මස් වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1,400කටයි.
ඉදිරියේ දී කුකුළු මස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වෙළෙඳුන් පවසයි.
මේ අතර පිටකොටුව එළවළු වෙළෙඳ සංකීර්ණයේ ලීක්ස්, කැරට්, බෝංචි වැනි උඩරට එළවළු වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.
කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 400ක් වන අතර බෝංචි කිලෝවක සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 600ක් ලෙසය.
මාළු මිරිස් කිලෝවක මිලද රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කරවිල කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 400කටය.
Aruna