Thursday, October 31, 2024
Follow Us
ගැටලු විසදන තෙක් මෙරටට ගල් අඟුරු නොදෙන්න සැපයුම්කරුවන්ගෙන් තීරණයක්

එල්ලවී ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තෙක් ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බවට සැපයුම්කරුවන් දැනුම්දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම සාකච්ඡාවට ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කරුවන් එක්ව තිබෙනවා.

විවිධ දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජය තුළ අර්බුදකාරි වාතාවරණයක් නිර්මාණය කර ඇති බවයි එහිදී සාකච්ඡාවී ඇත්තේ. ඒ අනුව රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු එල්ලවී ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තෙක් ගල් අඟුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බව දැනුම්දී තිබෙනවා.

කෙසේවෙතත් අහිමිවී ඇති සැපයුම යථා තත්ත්වයට පත් කරමින් ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු කඩිනමින් ලබා ගැනීමට සහ නීත්‍යානුකූලව එම පිරිස්වලට මෙන්ම සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු පවතින්නේ ඔක්තෝම්බර් මස 20 ත් 25 ත් අතර කාලයක් සඳහා පමණයි. පවතින අර්බුදය කඩිනමින් විසදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී පැය 10 ත් 12 ත් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේ.

Neth