Thursday, October 31, 2024
Follow Us
යුනිසෙෆ් වාර්තාව වැරදිනම් නිල සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරන්නැයි වෛද්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට කියයි

මෙරට ළමා මන්ද පෝෂණය පිළිබද යුනිසෙෆ් සංවිධානය කළ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිල සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ විවිධ පාර්ශව විවිධ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ ද ආහාර සපයා ගැනීම සම්බන්ධයෙන් මෙරට ජනතාව ගැටළුවකට මුහුණපා සිටින බව පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි බවයි.

පවතින තත්ත්වය හමුවේ පෝෂණ අවශ්‍යතාව පසෙකලා ආහාර අවශ්‍යතාව පමණක් සපුරා ගැනීමට මෙරට ජනතාවට සිදුව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 06 වන ස්ථානය පසුවන බවයි යුනිසෙෆ් සංවිධානය ඉකුත්දා ප්‍රකාශ කළේ. දකුණු ආසියාවේ මන්දපෝෂණයට මුහුණ දී සිටින රටවල් අතර දෙවන ස්ථානයටද ශ්‍රී ලංකාව පත්ව ඇති බව මෙරට සංචාරයක නිරතව සිටි එම සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමඟ හටගෙන ඇති ජීවන වියදම ඉහල යාම හමුවේ ජනතාවගේ ආහාර වේලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එහිදී පෙන්වා දුන් ඔහු ඊට හේතුව ලෙස සදහන් කර සිටියේ දිනෙන් දින ආහාර මිල ගණන් ඉහල යාම බවයි. ඒ අනුව, මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මඟහරිමින් සිටින බවත් පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීම සහ ආහාර මිල දී ගැනීමට නොහැකි වීම ඊට ප්‍රධාන හේතු ලෙසටයි යුනිසෙෆ් සංවිධානය පැවසුවේ.

කෙසේවෙතත් මෙරට ළමා මන්ද පෝෂණය පිළිබද යුනිසෙෆ් සංවිධානය ඉදිරිපත් කළ එම වාර්තාව ප්‍රතික්‍ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී ඔහු කියාසිටියේ 2016 වසරේ කරන ලද සමීක්‍ෂණ දත්ත සැලකිල්ලට ගෙන එම වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි.

Neth