Thursday, October 31, 2024
Follow Us
ගම් 2ක් දින 4ක් ගහගනී

නිවාස හතකට අලාභ හානි


යාපනය නෙල්ලිඅඩි තුන්නාලෙයි ප්‍රදේශයේ ගම්මාන දෙකක් අතර දින හතරක් තිස්සේ පැවති ගැටුමකින් ගම්මාන දෙකෙහිම නිවාස හතකට අලාභ හානි සිදුව තිබේ.

මෙම ගැටුම්වලට අදාළව දෙපාර්ශ්වයේම පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් විසි පස් දෙනකුට වැඩි පිරිසක් සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මීට දින පහකට පෙර තුන්නාලෙයි බටහිර ප්‍රදේශයේ වැලි ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකුගේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර ආරවුල් ඇතිව තිබේ. ඒ ගම්මාන දෙකක සිටින දෙපාර්ශ්වයක් අතරය. පසුව එය කුල දෙකක ප්‍රශ්නයක් ලෙස දුරදිග ගොස් ඇත.

ඒ ආකාරයෙන් දෙපාර්ශවයම කඩු කිනිසි හා පෙට්‍රල් බෝම්බවලින් දින හතරක් පුරා පහරදීගෙන ඇති අතර පෙරේදා (03 වැනිදා) දහවල් 2 සිට රාත්‍රිය දක්වාම ගැටුම දරුණුම තත්ත්වයකට සිදුව ඇත.

මෙම ගැටුමෙන් නිවාස හතකට මෙන්ම එම නිවාසවල ඇති රථවාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ඊට අදාළ පැමිණිලි හතක් ද නෙල්ලිඅඩි පොලිසිය වෙත ලැබී ඇත.

නෙල්ලිඅඩි පොලිසිය සඳහන් කළේ එක් පාර්ශවයක් විසින් පොලිසියට පැමිණිලි කර ඇති මුත් අනෙක් පාර්ශ්වය පැමිණිලි කිරීමට ඉදිරිපත්වී නැති බවය.

පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් මෙම ගම්මාන දෙකටම යොදවා ඇති අතර මේ වන විට එහි තත්ත්වය සාමකාමී බව කන්කසන්තුර කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

Aruna