යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද, මේ වනතෙක් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලය වෙත ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 2,000 ක මුදලක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී තිබෙනවා. එම මුදල කඩිනමින් තමන් වෙත ලැබෙනු ඇතැයි සිතා වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම සිදුකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ද දැනුවත් වී ඇත්තේ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ප්‍රවෘත්ති තුළින් බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙතෙක් ලබාගෙන ඇති වී සඳහා ගෙවීම් සිදුකිරීමට රුපියල් මිලියන 500 ක මුදලක් ණයක් ලෙස වී අලෙවි මණ්ඩලයට නිකුත් කරන්නැයි මහා භාණ්ඩාගාරය රාජ්‍ය බැංකුවක් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. එහෙත් මුදල් නොමැති බව පවසමින් අදාළ බැංකුව මුදල් නිකුත් කර නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ගොවීන්ගේ මෙම ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.
ඉන් අනතුරුව වී මිලදී ගන්නා අවස්ථාවේදීම මුදල් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
Neth