සැප්තැම්බර් 18න් පසුව හාල් කිලෝව 290යි
ලබන සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක් රුපියල් 290කට අලෙවි කිරීමට සිදුවන බව මහා පරිමාණ මෝල් හිමියෝ පවසති. යල කන්නයේ වී කිලෝවක් රුපියල් 140ත් 150ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුවීම නිසා වී කිලෝවක මිල මෙන් දෙගුණයක් ඉක්මවා සහල් අලෙවි කිරීමට සිදුවන බවද ඔවුහු පවසති.
විදුලි ගාස්තු, ප්රවාහන ගාස්තු ඉහළ යෑම ඇතුළු කාරණ මත සහල් මිල වැඩි කිරීමට සිදුවන බව ඔවුහු කියා සිටිති. වී අලෙවි මණ්ඩලය යල කන්නයේ වී අස්වනු වැඩි මිලකට මිලදී ගැනීම නිසා තමන්ට ද වී මිල වැඩි කිරීමට සිදු වී ඇතැයි සහල් මෝල් හිමියන් පවසයි. දැනට රජයේ පාලන මිලට සහල් අලෙවි කරනු ලැබුවද සැප්තැම්බර් 18 වැනිදායින් පසු වී මිල අනුව සහල් මිල තීරණය කිරීමට සිදුවන බව සහල් මෝල් හිමියන් කියයි.
වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්රික් ටොන් 30000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර ඉකුත් සෙනසුරාදා වන විට මිලදී ගෙන තිබූ වී ප්රමාණය මෙට්රික් ටොන් 5000 ඉක්මවා තිබුණි. මණ්ඩලය විසින් මිලදී ගන්නා වී තොග සහල් බවට පත් කර PMB Rice නමින් අඩු මිලට වෙළෙඳපොළට නිකුත් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
Aruna