අරගලය මෙහෙයවූ ප්‍රධානම පිරිසගෙන් හානිය අයකර ගන්නා
ගාලුමුවදොර පිටියේ සතුටු වීමට අවසර තිබුණේද ඊට විරුද්ධ පැත්තේ පිහිටි බිමට දස වසරකට පෙර යන්නට කාටවත් අවසර තිබුණේ නැත. අවසර තිබුණා නම් ඒ සැප්තැම්බර් විසි හයවැනිදාට යෙදී තිබෙන බණ්ඩාරනායක ගුණ සැමරුව දා බණ්ඩාරනායක පිළිරුව අසලටම ගොස් පුෂ්පෝපහාර දක්වන්නට පමණි.
කපුටෙකුටවත් පියාඹන්නට අවසර නැති මේ බිම එදා සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් වූයේ යුද හමුදා මූලස්ථානයත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හතර මායිමේ එක කොණක් ඒ බිමේ තිබීම නිසාය. ඒ දවස ජනාධිපතිවරු, අගමැතිවරු, හමුදාපතිවරු කොළඹින් පිට පැවති රැස්වීම්වලටත්, උත්සවවලටත් සහභාගි වීම සඳහා ගුවන් ගත වන්නට පැමිණෙන්නේ මේ බිමටය. තිස් වසරක යුද්ධයේ නිමාවත් සමග නාගරික සංවර්ධන අමාත්‍යංශය භාරයට මේ බිම පත්කරන ලද්දේ ඒ දවස නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙනි. ඉනික්බිතිව එහි එක් කොටසක් විදේශීය ආයෝජනයක් සඳහා දුණි. අද ඒ බිමේ ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රය ය.
2019දී ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස බලයට පැමිණීමත් සමග ෂැංග්‍රිලා හෝටලයත් බණ්ඩාරනායක පිළිරුවටත් ජනපති ලේකම් කාර්යාලයටත් අතරමැදිව පිහිටි කොටස උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් වෙන් කළේය. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියාම කපනවා සේ ගෝඨාභය එළවීමට අරගලකරුවන් ‘ගෝඨා ගෝ හෝම්‘ නමින් ගමක් ද පිහිටවූයේ මේ බිමේය. දින එකසිය විසි පහකට ආසන්න කාලයක් මේ බිමේ පදිංචිකරුවන්ව සිටි ඔවුන්ට ‘ගෝඨා ගෝ හෝම්’ යන ලිපිනයට ලියුම්ද ලැබෙන්නට විය.
මෙසේ අරගලකරුවන්ගේ සන්තකයට පත්වූ මේ බිම යළිදු වරක් රජය සතු වූයේ ගෝඨාභය ගෙදර ගොස් රනිල් වික්‍රමසිංහ ජනපති වූ පසුවය.
අරගලකරුවන්ටම සින්න වෙන්නට ගිය මේ වර්ග මීටර් අට සියයක බිම සුද්දාගේ කාලේ, එනම් එක්දහස් අටසිය පහළොව වනතෙක් පැවතියේ මිනිසුන් එල්ලා මරණ තැනක් ලෙසය. ලංකාවට මුලින්ම දුම්රිය මාර්ගයක් නිර්මාණය කළ සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරගේ කාලයේදී පවා ගාලුමුවදොර ආශ්‍රිත ප්‍රදේශයේ එල්ලුම් ගහක් පවා තිබූ බවත් සඳහන් වේ.
එක්දහස් අටසිය තුනේදී පමණ ඉංග්‍රීසි හමුදාව කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණය කරන කාලයේදී උඩරට හමුදාව අතින් ඉංග්‍රීසි සොල්දාදුවන් විශාල පිරිසක් මරණයට පත්විය. උඩරට හමුදාවෙන් බේරෙන්නට පසුබසින ඉංග්‍රීසි හමුදාවට මැලේරියා උණෙන්ද ජීවිතය බේරාගැනීමට නොහැකි විය. මියගිය ඉංග්‍රීසි හමුදාවේ සොල්දාදුවන් විශාල පිරිසක් මරණයට පත්විය. ඔවුන්ගේ දේහයන් කොළඹට රැගෙනවිත් ගාලුමුවදොර පිටියේ සොහොනක් සාදා එහි මිහිදන් කළ බව යටත්විජිත ඉතිහාසයේ සඳහන් වේ. පසු කාලයේ එම සොහොන හාරා ඉතිරිව ඇති භෂ්මාවශේෂ කොළඹ කනත්තට ගෙනැවිත් මිහිදන් කළේය. එතැන් සිට මිනී වළෙන් මිදුණු ගාලුමුවදොර කොළොම්පුරේ වැසියන්ට සතුටු වන්නට විනෝදවන්නටත් එළිමහනේ මහජන උද්‍යානයක් නිර්මාණය විය.
දශක දෙක තුනකට ඉහතදී මංගල සමරවීර නාගරික සංවර්ධන ඇමැති ධුරය කළ කාලේ ගාලු මුවදොර පිටිය හැඩවැඩ කෙරුණි. ගෝල්ෆේස් පිටිය අසල ගාලු පාරෙන් එපිට කොටසත් තණ පිඩලි අල්ලා බිම සකසා අලංකාර කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන ලේකම් ධුරය දැරූ කාළේය. අරගලකරුවන් පැල් බැඳගෙන සිටියේ මේ බිමේය. මේ අරගලකරුවන් නිසා මිලියන හතරකට ආසන්න මුදලක් වැය කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සෑදු ගාලු මුවදොරෙහි ‘හරිත උයනත්‘ විනාශ වී ඇති බව නාගරික සංවරධන අධිකාරිය කියන්නේය. එදා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර ගෙන්වා ගත් තණ පිඩලි දමා සවිකර තිබූ බිමේ අද තණකොළ ගසක්වත් දකින්නට ලැබෙන්නේ නැත. අද එහි ඇත්තේ මඩ වළවල්ය. ‘ගෝඨා ගෝ හෝම්‘ ගමේ පදිංචි වූ අරගලකරුවෝ එහි කුඩාරම් ගැහුවා පමණක් නොව කුඹුරු කොටා බණ්ඩක්කා, මිරිස් ඇතුළු එළවළුත් සිටවූහ.
වෙනදා නිලට නිලේ තණකොළ වවා අලංකාරව තිබූ මේ බිම, අරගලකරුවන්ගේ නික්ම යෑමෙන් පසුව දිස්වූයේ යකා නැටූ පිටියක් සේය. ඒ බිමට වී තිබූ පාඩුව දැන් එම ඉඩමේ අයිතිකරුවා වන නාගරික සංවර්ධන අධිකාරිය ගණනය කර තිබේ. එම බිම නැවත සැකසීම සහ මූලික වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිස් නමයක මුදලක් නාගරික සංවර්ධන අධිකාරිය කියන හැටියට ඕනෑය. එහිදී, රුපියල් ලක්ෂ එක හමාරක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිස් හත හමාරක් තවත් ඕනෑ බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද තක්සේරු වාර්තාවෙහි සඳහන් වේ.
‘‘අරගලකරුවන් රැඳී සිටි ගෝල්ෆෙස් පිටිය පොදු දේපොළක්. ඒ නිසා එවැනි නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් තාවකාලිකව ඉදි කිරීමට සූදානම් වන්නේ නම් නාගරික සංවර්ධන අධිකාරියේ බලපත්‍රයක් ලබාගත යුතුයි. මීට කලිනුත් පැවති නඩුවකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකත් මෙම ප්‍රදේශය පොදු මහජන සේවාවන් වෙනුවෙන් සංවර්ධනය කර වෙන් කර තිබිය යුතු බවටත් තීරණය කර තිබෙනවා. එහෙම තිබියදීත් අරගලකරුවන් ලෙස හඳුන්වා ගන්නා මේ කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් කර තිබෙනවා. අනික පොදු දේපළකට ඇතුළු වී නීතිවිරෝධීව එහි පදිංචි වී එය තහවුරු කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලිපිනයන් පවා ගත් බව අපිට ආරංචි…” ඒ කියන්නේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගය.
මෙලෙස නාගරික සංවර්ධන අධිකාරියේ පනත උල්ලංඝනය කරමින් ගාලු මුවදොර පිටිය විනාශ කළ සියලුදෙනාටම විරුද්ධව නීතිමය පියවර ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කටයුතු කරන්නේය.
පොතේ හැටියට ‘ගෝඨා ගෝ හෝම්’ ගමේ ඉඩමේ සියලුම හිමිකාරිත්වය දරන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. මෙම බිම් ප්‍රදේශය ගාලුමුවදොර පිටිය හා සම්බන්ධ කරමින් අලුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ හරිත උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබුණි. අද ඒ හරිත බිම මඩ ගොහොරුවක්ව පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර කියන්නේය.
‘‘අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන හතරක මුදලක් වැය කළා. ඒත් අද අපිට වෙලා තියෙනවා මේ බිම ආයෙත් තිබුණු තත්ත්වයට පත්කරන්න. ඒකට වියදම් වෙනවා ලක්ෂ හතළිස් නවයක්. ඒත් මේ අවුරුද්දේ අපිට මේ වෙනුවෙන් වියදම් කරන්න කියලා කිසිම ප්‍රතිපාදනයක් රජය මගින් හෝ අමා්‍යංශය මගින් හෝ වෙන් කරලා නැහැ. ඒ නිසා අපි මේ මුදල මේ තැන මේ විදිහට පත්කරපු අයගෙන්ම අයකරන්න අවශ්‍ය නීතිමය පියවර ගනිමින් ඉන්නේ” කියා ඔහු කියන්නේය.
ලක්ෂ ගණනක් වූ අරගලකරුවෝ මේ බිමේ එහෙමෙහෙ ගමන් කළෝය. ඒ අතර ලොවම දන්නා ක්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ද විය. තවත් දහස් ගණනක් වූ අරගලකරුවන් පිරිසක් මාස ගණනාවක් පුරා මේ බිමේ සිටිමින් රැය පහන් කළෝය. තවත් පිරිසක් දිනයක් හැර දිනයක් මේ බිම ආව ගියෝය. ඒ නිසා හරියටම ‘ගෝඨා ගෝ හෝම්’ ගම පිහිටුවමින් හරිත බිම මඩ ගොහොරුවක් කළ අයව සොයන්නේ කෙසේද කියා අප නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසුවෙමු.
ඔහු කියන්නේ අරගලය මෙහෙයවූ ප්‍රධානම පිරිසගෙන් මේ හානිය අයකර ගන්නා බවයි.
‘‘මේ අරගලය මෙහෙයපු කණ්ඩායමක් ඉන්නවානේ. අපි ඒ අයගෙන් තමයි මේ මුදල් අයකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අනිත් දේ තමයි උද්ඝෝෂණ කරන්න වෙන් කරපු බිමේ ඉඳගෙන රූපවාහිනියට වොයිස් කට් දුන්න, වීඩියෝවල හිටපු, කුඩාරම් ගහගෙන පැළ වවාගෙන හිටපු ඒ අයගේ හඬපට වීඩියෝපට අපි ගාව තියනවා.අපිට පුළුවන් මෙයාලව හඳුනාගෙන අදාළ හානි මුදල නීත්‍යානුකූලව ගන්න කටයුතු කරනවා.” කියා ඔහු කියන්නේය. දැන් ඔවුන් හදන්නේ මේ වන්දිය අයකර ගැනීමට අරගලකරුවන්ට නඩු පැවරීමටය.
කෙසේ නමුදු, ගෝඨාභය රාජපක්ෂ ජනපති වූ සමයේ ගාලු මුවදොර වෙන්කළ ‘උද්ඝෝෂණ බිම’ තවදුරටත් එතැන පවත්වාගෙන යාමට අවසර නොදෙන බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේය. එයට හේතුව වන්නේ රටේ පාරිපාලන හා ආර්ථික මරමස්ථාන පිහිටා ඇති බිමක් ඒ වෙනුවෙන් වෙන්කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකයට විශාල පාඩුවක් නිසාය.
ගෝල්ෆේස් ඉඩමට වඩා වැඩිම පාඩුව වූයේ ගෝඨාභය රාජපක්ෂටය. ඉස්සර සුද්දාගේ කාලේ මිනිසුන් මැරූ ගෝල්ෆෙස් පිටිය නිසා මහුගේ දේශපාලනයේ මළගමටත් වැඩ සිද්ධ වූවේය. ගාලු මුවදොර හමුදා මූලස්ථානය ඉවත් නොකළා නම් ඒ බිමේ අරගල නැත. ජනපති ලෙස ඔහු විරෝධතාකරුවන්ට ඉඩ වෙන් නොකළා නම් ඒ බිමේ විරෝධතා පවත්වන්නට අවසර නැත. එසේ බලන විට දෛවය හොඳටම කර ඇත්තේ හිටපු ජනපතිවරයාටය.
Aruna