Friday, November 01, 2024
Follow Us
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගැන අනතුරු ඇඟවීමක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ඉදිරිපත් කරන බවයි නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයද පැවසුවේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකළ යුතු බවයි.

මේ අතර ලබන මස පැවැත්වීමට නියමිත ජිනීවා සැසියට පෙර යෝජිත ජාතික ආරක්ෂක පනතේ සැකැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසුවේ.

ජිනීවා සැසියටද යෝජිත ජාතික ආරක්ෂක පනතේ සැකැස්ම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබන 28 වනදා ජිනිවාහිදී විරෝධතාවක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා. ආණ්ඩුව මර්දනකාරී වැඩපිළිවෙලක නිරතවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් ආණ්ඩුව මර්දනකාරි වැඩපිළිවෙලක නිතර නොවන බවයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ ඊයේ පැවසුවේ.

ජිනීවා මානව හිමිකම් සැසිවාරය සැප්තැම්බර් 12 වනදා ආරම්භ වීමට නියමිතයි.

Neth