පමුණුගම ගබඩාවල නෞකාවේ අපද්‍රව්‍ය ටොන් 1,600ක්
පසුගිය වසරේ ජූනි මස 2 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කිරීමට රුපියල් 903,857,293ක් වැය වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡාවක දි අනාවරණ විය
එම සාකච්ඡාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ද එක්ව සිටියහ.
එහි දී විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදුන්නේ, නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පවතින නීති ප්‍රමාණවත් නො වන්නේ නම්, ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස යි.
මෙහි දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහදපුර සඳහන් කළේ මුහුදුබත් වූ නෞකාවේ බහලුම්වලින් නිකුත් වන ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇති බව යි.
එමෙන්ම නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් පබළු සහ රසායනික ද්‍රව්‍යයන් මෙට්‍රික් ටොන් 1,600ක් පමණ පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව යි සභාපතිනිය වැඩිදුරටත් කියා සිටියේ.
Aruna