Friday, November 01, 2024
Follow Us
කොළඹ ජනප්‍රිය පාසලක දරුවකුගේ සපත්තුවේ නයෙක්

8 වසර සිසුවෙකු හදිසියේ රෝහල් ගත කරයි


කොළඹ ආනන්ද විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලබන දරුවකුගේ සපත්තුව තුළ සිටි නයි පැටියෙක් සපා කෑම නිසා එම සිසුවා ඊයේ (23දා) උදෑසන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය සඳහන් කරයි.

දරුවාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතර දරුවාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

කඩවත ප්‍රදේශයේ සිට පාසලට පැමිණෙන මෙම දරුවා බස්රථයට ගොඩවන විට සපත්තුව තුළ කටුවකින් සිය පාදයට අනින බවක් විටින් විට දැනී ඇති අතර පාසලට ආ පසුව එම වේදනාකාරී බව වැඩි වැඩියෙන් දැනීම හේතුවෙන් සපත්තුව ගලවා පරික්ෂා කිරීමේදී මෙම නයි පැටවා හමුවී ඇති බව වෛද්‍ය විජේසූරිය සදහන් කරයි.

ඒ මොහොතේදීම දරුවා වහාම රෝහල් ගතකිරීමට පාසල් බලධාරීන් කටයුතු කර ඇත. ඒ අනුව දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දි ඇත.

මෙම සිදුවීම හමුවේ සෑම දෙමාපියෙක්ම තම දරුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසත් විශේෂයෙන් පාසල් ගොස් පැමිණි පසුව පාවහන් යුගලයෙන් මේස් ඉවත් කර ඉහළ ස්ථානයක තබන ලෙසත් නැවත පසු දින ඒවා පැලඳීමට පෙර හොඳින් පරික්ෂා කර බලන ලෙසත් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.

Aruna