Friday, November 01, 2024
Follow Us
රජය වී මිලදී ගැනීම ආරම්භ කරයි - පළමු දිනයේම මිලදී ගත් ප්‍රමාණය කිලෝ ලක්ෂ දෙක ඉක්මවයි

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කරමින් වී අලෙවි මණ්ඩලය ඊයේ දින වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හයසීයයක් මිලදී ගෙන තිබෙනවා. දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් ඊයේ දිනය තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබුණා.

අම්පාර, අනුරාධපුරය හා උතුරු ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා මගින් ඊයේ දිනය තුළ වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හයසීයයක් මිලදී ගැනීමට කටයුතු කළ බවට වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා තමන් දැනුවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

එමෙන්ම අද දවස තුළ වී මිලදී ගැනීමට විවෘතව තබන ගබඩා ප්‍රමාණය තවදුරටත් වැඩිකරන ලෙස ද අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද දිනය තුළ ගබඩා 75 ත් 100 දක්වා ප්‍රමාණයක් වී මිල දී ගැනීමේ කටයුතු සඳහා විවෘතව තැබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘතව තැබීම ද ක්‍රමාණුකූලව පුළුල් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

Neth