සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,444 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඉකුත් මැයි මාසය හා සැසදීමේදී රුපියල් 1,225 ක වැඩිවීමක්.
2022 වසරේ ජනවාරි මාසයේ සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම දැක්වුණේ රුපියල් 8,923 ක් ලෙසයි. ඒ අනුව මාස 06 ක් තුළ එම අගය රුපියල් 3,521 කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම කරුණු අනාවරණය වුණේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නවතම නිල දරිද්‍රතා රේඛා සටහනට අනුවයි. 2022 ජූනි මාසයට අදාළව මෙම නව දත්ත සටහන නිකුත් කර තිබෙනවා. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා තිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. ඔහුට හෝ ඇයට ඒ සඳහා වැයවන මුදල රුපියල් 13,421 ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 13,353 ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් මසකට වැයවන මුදල රුපියල් 13,063 ක් වනවා. නුවරඑරළිය දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 13,087 ක්. කෑගල්ල දිස්ත‘්රක්කයේ ද එම අගය රුපියල් 13,012 ක් ලෙසයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙහි අවම අගය පවතින්නේ මොණරාගල දිස්ත්‍රික්කයේයි. එම දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රුපියල් 11,899 ක් වනවා. සෙසු සෑම දිස්ත්‍රික්කයකම සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.
ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව පැවසුවේ නිල දරිද්‍රතා රේඛාව පිළිබඳ දත්ත ඉදිරිපත් කිරීමේදී ගෘහස්ථ ආදායම් හා වියදම් මත පදනම්ව සකස් කර ඇති බවයි. ඒ අනුව මෙලෙස නිල දරිද්‍රතා රේඛාව වැඩිවීමට හේතුවී ඇත්තේ පෙර මාසයට සාපේක්ෂව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ යාමයි.
Neth