Friday, November 01, 2024
Follow Us
අරගලය නිම වුනත් විදේශීය ප්‍රේෂණ ලැබීමේ අඩුවක්

මෙරටට ලැබෙන විදේශීය ප්‍රේෂණවල තරමක වැඩිවීමක් ඇති බව රාජ්‍ය බැංකු කිහිපයක් නියෝජනය කරන ප්‍රගති බැංකු සේවක සංගමය පවසනවා. එහි සභාපති නිශාන්ත සමරසිංහ පැවසුවේ ඉදිරියේදී මෙම තත්ත්වය සුබවාදී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේවෙතත් අපේක්ෂිත මට්ටමට තවමත් විදේශීය ප්‍රේෂණ නොලැබෙන බව ඔහු සඳහන් කළා.

රාජ්‍ය බැංකු පද්ධතිය තුළ පැවැති ඩොලර් හිගය මේවනවිට සමථයකට පත්වෙමින් ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙරටට විදේශීය ප්‍රේෂණ ලැබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ විදේශීය ප්‍රේෂණ ලැබීමේ යම් අඩුවක් තවමත් දක්නට ඇති බවයි. එම තත්ත්වය ඉදිරියේදී යහපත් අතට පත්වනු ඇති බවට ද ඔහු සඳහන් කළා.

රට තුළ අරගලය ක්‍රියාත්මක වූ සමයේ බොහෝ පිරිස් පැවසුවේ පැවැති පාලනය වෙනස් වුවහොත් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට වැඩි වශයෙන් ලැබෙනු ඇති බවටයි.

ඒ අනුව තත්ත්වය වෙනස් වී මාසයකට අධික කාලයක් ගතවී ඇති පසුබිමක විදෙස් ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් ඇත්දැයි නෙත් නිවුස් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ද විමසීමක් කළා.

ඉකුත් ජූලි මාසයේදී මෙරටට ලැබුණු විදේශීය ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 279 යි දශම 5 ක්. ඉකුත් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මෙරටට ලැබී ඇති සමස්ථ විදේශීය ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,889 යි දශම 4 ක්. එය 2021 වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 50ක අඩුවීමක් වනවා.

2021 වසරේ අදාළ කාලය තුළ මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3,777 යි දශම 6 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණා.

Neth