විදුලිය බිල වැඩිවීම මිල සූත්‍රයක් වගේ නූල් සූත්තරයක් නෙමෙයි
විදුලි ගාස්තු සියයට හැත්තෑ පහකින් ඉහළ නැංවීම මහජන උපයෝගීතා කොමිසමේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්තනෝමතික තීරණයක් බවත් එම තීරණයට කිසිදු පදනමක් නොමැති බවටත් විවිධ පාර්ශව චෝදනා කරයි.එමෙන්ම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා සිදු වූවක් බවද කියවෙයි. විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමටද විවේචන එල්ල වෙයි.මේ ඒ පිළිබඳව එම කොමිසමේ සභාපති ජනක රත්නායක සමග ” අරුණ” සාකච්ඡාවකි.
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බලාපොරොත්තු වුණාට වඩා දරුණුයි නේද ?
මේ විදුලිබිල වැඩේ වුණේ අවුරුදු අටකට පසුව.පහුගිය මාස කිහිපයේ අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වීමේ ප්‍රතිශතයන් සමඟ සංසන්දනය කරද්දී විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ අඩු ප්‍රමාණයකින්. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ආර්ථිකයේ කළමනාකරණයක් තිබුණේම නැති තරම්.එහි ප්‍රතිඵලයක් හැටියට පසුගිය මාස හයක පමණ කාලයකදී සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් සීඝ්‍රයෙන් වැඩි වුණා.රට තුළ ඇතිවුණු ආර්ථික විකෘති තත්ත්වය නිසා සියලුම ක්ෂේත්‍රයන්ගේ කළමනාකරණය පාලනය කරගත නොහැකි වුණා.
විදුලිය නිපදවීමේ ක්‍රියාවලියේදී 65% ප්‍රමාණයක් සම්පූර්ණ කරන්නේ ඉන්ධන හා ගල් අගුරු භාවිතයෙන්.ලෝක වෙළඳපොළේ ගල් අඟුරු සහ ඉන්ධන මිලත් වැඩි වෙලා.රුපියල අවප්‍රමාණය වීම නිසා මේ මූලද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයනුත් අපි සතුව නැහැ.ඒ නිසා මේ මූලද්‍රව්‍ය සපයන පිරිස නියම කරන මිලටම ඒවා මිලදී ගන්න වෙනවා .මූලද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් සමඟ නිපදවන විදුලි ඒකක වල මිල ගණන් පාලනය කරගත නොහැකි තත්ත්වයට වැඩි වෙලා .
එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කළ යුතුයි කියලා විදුලිබල මණ්ඩලය යෝජනා හතරක් ඉදිරිපත් කළා.අන්තිම යෝජනාවේ තිබුණේ රුපියල් බිලියන 850 ක් අවශ්‍යයි කියලා.එහෙම නැති වුණොත් ලංකා විදුලිබල මණ්ඩලය බේරගන්න බෑ කියලා ඔවුන් කිව්වා .ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ අදහසම ඉදිරිපත් කළා.නමුත් අපි යෝජනාව පිළිගත්තෙ නෑ.
විදුලි බිල 229% කින් වැඩි විය යුතුයි කියලා අවසානයට විදුලිබල මණ්ඩලය යෝජනා කළා.එලෙස විදුලි බිල වැඩි කිරීම පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි නිසා අපි ඒ යෝජනාවට එකඟ වුණෙත් නෑ.ඒ වෙනුවට පිරිවැය කළමනාකරණය කර ගැනීමේ පදනම මත අපි සාධාරණ වැඩි කිරීමක් කළා. මේ ක්‍රමවේදය ගැන අවබෝධයක් නැති පිරිස කලබල වෙලා අපිට චෝදනා කරනවා
විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග නැවතත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා.එක්වරම ජනතාව පිට මෙවැනි බරක් පටවන්නේ නැතිව මිල සූත්‍රයක් තුලින් යම්කිසි තීරණයක් ගන්න හැකියාවක් නැද්ද?
අද ලංකාවේ මොනම ක්ෂේත්‍රයකවත් හරි ආකාරයේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙනවද? ඉන්ධනවලට මිල සූත්‍රයක් තියෙනවා කියල කිව්වට ඇත්තටම ඉන්ධනවලට මිල සූත්‍රයක් නෑ. තියෙන්නේ පිරිවැය පමණයි.ඒ පිරිවැයත් නිර්මාණය කළ එකක් මිස ආනයනය කිරීම සඳහා යන සැබෑ පිරිවැයක් නෙමෙයි.මිල සූත්‍රයක් හදනවා නම් එහි ප්‍රතිලාභය ලැබිය යුත්තේ ජනතාවට.ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැතිනම් මිල සූත්‍රයක් හදලා වැඩක් නැහැ. ඒ නිසා විදුලි බිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හදන්න බැහැ.
විදුලි බිල වැඩි කිරීම ,පිරිවැය අයකරගැනීමේදී සාධාරණය මත පදනම්ව පාරදෘශ්‍යභාවයකින් යුතුව ගත්ත තීරණයක්.මහජන අදහස් උදහස් වලට ඉඩ ලබා දෙමින්, ඔවුන්ගේ යෝජනා චෝදනා සලකා බලමින්, ඒ අදහස්වල සාරාංශයක් කැටි කරගනිමින් 75%ක් විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව සකස් කළා.මේ තීරණය ගැනීමේදී පාරිභෝගිකයන් පිළිබඳව වගේම ලංකා විදුලිබල මණ්ඩලය ගැනත් අපිට හිතන්න වුණා.ඔය මිල සූත්‍ර කතාව ඇත්තටම නූල් සූත්තර කතාවක්.ඒකෙන් මිනිස්සුන්ව තව තවත් රවට්ටනවා.මිල සූත්‍ර පෙන්වමින් අපි මිනිස්සුන්ව මුලා කළේ නෑ.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී විද්‍යාත්මක ඇගයීමක් නෑ කියලා ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය චෝදනා කරනවා?
විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කළ යුත්තේ විදුලිබල මණ්ඩලය විසින්.එහිදී තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යය ඉංජිනේරුවරුන් ඉන්නේ විදුලිබල මණ්ඩලයේ .ඒ නිසා විද්‍යාත්මක ඇගයීම් කිරීම විදුලිබල මණ්ඩලයේ කාර්යයක් මිස මහජන උපයෝගිතා කොමිසමේ වගකීමක් නෙමෙයි.
කොහොම වුණත් විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් උදහස් වලටත් අපි ඉඩ ලබා දුන්නා.ඒ වගේම අපේ ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දැනුමත් මේ සඳහා භාවිත කළා. ඒ නිසා මේ තීරණ එකපාරම අහසින් කඩා පාත් වෙලා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ.ගෘහස්ථ ,සුළු හා මධ්‍ය පරිමාණ,සංචාරක ,ඇඟලුම් ආදී සියලුම ක්ෂේත්‍රවලට සාධාරණයක් වෙන විදිහට තමයි අපි මිල ඉහළ දැමීම කළේ.එහිදී තාක්ෂණික ඇගයීමක් වෙලා නෑ කියලා සැකයක් තියෙනවා නම් ඒ ගැන අදාළ පාර්ශ්වයන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කළ යුතුයි.මහජන උපයෝගිතා කොමිසමට එවැනි චෝදනා භාරගන්න බැහැ.
විදුලි පිරිවැය ගණනය කළ පදනම මොකක්ද? එය සිදු වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මතද?
විදුලි බිල වැඩි වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමක් නෑ.ඒ යෝජනාව ඉදිරිපත් වෙද්දි,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ණයක් ලැබෙනවා කියලා ඉඟියක්වත් තිබුණේ නෑ.
විදුලිය බිල ඉහළ දැමීමේ යෝජනාව පිළිබඳවවත් ඇත්තම කතාව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. විදුලිය බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවලියක් ඉදිරිපත් කිරීම තමයි සාමාන්‍ය ක්‍රමවේදය.නමුත් එවැනි ඉල්ලීමක් පසුගිය අවුරුදු පහක කාලය තුළ කිසිම අවස්ථාවක ලංකා විදුලිබල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිසමට ලැබුණේ නැහැ. ඔවුන්ගේ මූල්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී තවදුරටත් මේ තත්ත්වය යටතේ විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යන්න බැහැ කියලා මටම අවබෝධ වුණා.
විශාල මූල්‍ය අර්බුදයක් ඇති වෙනවා කියන පදනමේ පහුගිය අවුරුද්දේ පටන්ම මම හිටියා.ඒ නිසා මිල සංශෝධනයක් ඉල්ලන්න කියලා මම විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ගෙන්නලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා.ඒ වෙද්දි විශාල වශයෙන් ඩොලර් සම්බන්ධ ගැටලුවක්වත්,ආර්ථිකය සම්බන්ධ ගැටලුවක්වත් ඇතිවෙලා තිබුණේ නැහැ. විදුලිය බිල වැඩි වීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න කියලා ජනවාරි මාසයේ දී මම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලිඛිතවත් ඉල්ලීමක් කළා.මම ඒ ඉල්ලීම කළේ නැත්නම් මේ තත්ත්වය තවත් බැරෑරුම් වෙන්න තිබුණා.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ජනවාරි මාසයේ සිට අවස්ථා හතරකදී යෝජනා ඉදිරිපත් කළා කියලා ඔබම මුලින් සඳහන් කළා.ඒ යෝජනාව කළ යුතුයි කියලා විදුලිබල මණ්ඩලයට යෝජනා කළේ ඔබ යැයි දැන් කියනවා.මේ අදහස් වල පරස්පරතාවයක් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්..
ජනවාරි මාසයේ සිට හතර වතාවක් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් යෝජනා විදුලිබල මණ්ඩලයෙන් ඉදිරිපත් වුණේ මම ලිඛිතව ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නාට පසුව.මම ඒ තීරණය ගත්තේ නැත්නම් තවමත් ඔවුන්ගෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් නොවෙන්න තිබුණා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථායීභාවය සම්බන්ධයෙන් පනතානුකූලව මහජන උපයෝගිතා කොමිසම වගකිව යුතුයි.එහි බිඳ වැටීමක් සිදු වුණොත් මේ තියන තත්ත්වයක් නැති වෙනවා.75%කින් විදුලිබිල වැඩි වුණාම ජීවිතය පවත්වාගෙන යන්න බෑ කියලා දැන් කීවට,මේ තත්ත්වයටවත් විදුලිය නොලැබී තිබුණොත් මොකද වෙන්නේ?මිලියන 21ක ජනතාවක් සහ ලක්ෂ හැත්තෑ අටක පාරිභෝගිකයන් ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.ඔවුන් ගැන වගේම ලංකා විදුලිබල මණ්ඩලය ගැනත් හිතලා තමයි මම මේ වගේ යෝජනාවක් කළ යුතුයි කියලා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නේ.
විදුලි ගාස්තු වැඩි කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නයි කියන චෝදනාවත් නැගෙනවා…
අපි කියලා තියෙන්නේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා තියා බෝනස්වත් ගෙවන්න එපා කියලා .ඒ නිසා විදුලි බිල වැඩි කළේ සේවක සුබසිද්ධිය උදෙසා කියලා පැතිරෙන කතා පදනම් විරහිතයි.
පාරිතෝෂිත ලබා දෙන්න එපා කියලා ඔබ කියනවා. එහෙම කියපු ගමන් විදුලි වෘත්තීය සමිති කලබල වෙන්නත් පුළුවන්.එවැනි තත්ත්වයක් කළමනාකරණය කරගන්න පුළුවන්ද?
බෝනස් ගෙවන්නත් ආයතන ලාභ ලැබිය යුතුයි.පාඩු ලබන ආයතන වලට බෝනස් ගෙවන්න බැහැ.ඒ තත්ත්වය තේරුම් ගන්නේ නැතිව වෘත්තීමය ක්‍රියාමාර්ග ගනිමින් කෙනෙක් පාරට බහිනව නම් ඔහුට දැනුම වගේම අවබෝධයක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.රටම ආගාධයකට වැටිලා තියෙන වෙලාවක පිරිසකට සාද දාන්න දෙන්න බෑ.
විදුලිය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින අවස්ථාවක, තවමත් විකල්ප බලශක්ති ක්‍රමවේදයන් වෙත යොමු නොවීම ගැන මහජන උපයෝගිතා කොමිසම විදිහට මොකක්ද හිතෙන්නේ?
විකල්ප බලශක්ති ක්‍රමවේදවලට නොයාම මේ දේශපාලනඥයන්ගේ අනුවණ තීරණයක්.ඔවුන්ට මේ ක්‍රමවේදයේ වැදගත්කම තේරෙන්නේ නෑ.සමහරු කියනවා පාරිසරික හානි වෙනවලු .ලෝකයේ වැඩියෙන්ම විදුලිය නිපදවෙන්නේ ගල් අඟුරු බලාගාර ආශ්‍රිතව. ඒ නිසා ලංකාව වගේ රටකට ගල් අඟුරු වලින් බලශක්තිය නිපදවීම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ ගල් අඟුරු බලාගාරවලින් විතරද පරිසර දූෂණය වෙන්නේ.?
පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයේත් වරදක් නැහැ.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතිනවා.නමුත් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාදයි . ඒ ප්‍රමාදයට හේතුවත් දේශපාලන අධිකාරියේ සහ විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවයමයි.
ඉදිරියේදී විදුලි කප්පාදුව සිදු වෙන්නේ මොන විදිහටද ?
පසුගිය දිනවල ඇතිවූ දිනවල ඇතිවූ වර්ෂාපතනය නිසා විදුලිය උත්පාදනය සඳහා ජල සංචිතයන් තියෙනවා.ඔක්තෝබර් මාසය වන තුරු අවශ්‍යය ගල් අඟුරුත් තියෙන නිසා විදුලි කප්පාදුව පැයකට දෙකකට සීමා කරගන්න පුළුවන් .මේ දවස්වල අපි විදුලිය නිපදවීමට ඉන්ධන පාවිච්චි කරන්නේ නැහැ.
නමුත් දෙසැම්බර් මාසය වෙද්දී ගල් අඟුරු ගෙන්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් කළ යුතුව තියෙනවා.ගල් අඟුරු ගෙන්වීමට හැකියාව තියෙන්නේ ඔක්තෝබර්-අප්‍රේල් මාස අතර කාලය තුළ පමණයි. අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය නොගෙන්නුවොත් පැය 12කවත් විදුලි කප්පාදුවක් කරන්න වෙනවා.
Aruna