Wednesday, October 23, 2024
Follow Us
රට පුරා තද වැසි - කැළණි, කළු සහ අත්තනගලු ඔය අවදානමේ

ප‍්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ ඇතැම් ප‍්‍රදේශවල පහත්බිම් පවා ජලයෙන් යටවී ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍ර‍්‍රකාශ කළේ කැලණිඟග, කළුඟග සහ අත්තනගලූ ඔයේ ජලමට්ටම අවදානම් තත්ත්වයක් දක්වා වැඩිවෙමින් ඇති බවයි. කැලණිඟගේ නෝර්වුඩ් ප‍්‍රදේශයෙන් ද, කළුඟගේ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන්ද අත්තනගලූ ඔයේ දුනමලේ ප‍්‍රදේශයෙන් ද මෙම තත්ත්වය වාර්තා වනවා.

රත්නපුරය ප‍්‍රදේශයෙන් ද කළුඟග පවතින්නේ අවදානම් තත්ත්වයේයි. ගිංඟගේ තවලම ප‍්‍රදේශයෙන් සහ මහවැලි ඟගේ නාවලපිටිය ප‍්‍රදේශයෙන් ජල මට්ටම වැඩිවීමක් වාර්තාවුවද, මේ වනවිට එය ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පැවසුවේ නිල්වලා ඟග ඇතුළු සෙසු ප‍්‍රධාන ජලාශ ආශ‍්‍රිත ජලමට්ටම සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි.

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල සොරණාතොට අංගොඩ ප‍්‍රදේශයේ ජීවත්වූ පවුල් 23 ක පුද්ගලයින් 88දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ඒ, ගල්පෙරළීමේ අවධානම ද සැලකිල්ලට ගනිමින්.

සොරණාතොට ප‍්‍රාදේශීය ලේකම් නිමේෂා වනසිංහ ප‍්‍රකාශ කළේ දැවැන්ත ගලක් නිවසක් මතට පෙරලීමක් වාර්තා වුවද, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි. අදාළ ප‍්‍රදේශය සම්බන්ධයෙන් මේ වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර මධ්‍යම කඳුකරයට ද ඊයේ (15) රාතී‍්‍රයේ සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් තිබෙනවා. කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප‍්‍රදේශයේ පහත්බිම් රැසක් අද (16) උදෑසන ජලයෙන් යට වුණා. කාසල්රී ජලාශයේද ජල මට්ටම ඉහළ යමින් ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.

මේ අතර ගිනිගත්හේන නෝර්ටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයට විශාල ගස් දෙකක් සහ පස් කන්දක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වුණා. ගස් සහ පස්කඳු ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන අතර පවතින වැසි සමග පස්කඳු සහ ගස් කඩා වැටීමේ අවධානම පවතින බැවින් එම මාර්ගයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

තවදුරටත් වැසි ඇදහැලෙන බැවින් අවධානයෙන් පසුවීම වඩා වැදගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ප‍්‍රකාශ කළේ.

මේ අතර රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල සහ කලවාන, කෑගල්ල දිස්ති‍්‍රක්කයේ වරකාපොළ, කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල සහ මතුගම මෙන්ම නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අඹගමුව යන ප‍්‍රදේශවල ජනතාව නායයාම් අනතුරු ඇගවීම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවටයි දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද පස්වරුවේද දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලෙන බවයි.

(Neth)