Wednesday, October 23, 2024
Follow Us
පරිපාලන සේවය අඛණ්ඩ වැඩවර්ජනයකට සුදානම්

සිය ගැටළුවලට විසදුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා පැවසුවේ ලබන අගහරුවාදා වන විට සිය ඉල්ලීම් ඉටු නොවන හොත් බදාදා දිනයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කර ඇති බවයි.

සිය දීමනා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගියදා රාජ්‍ය පරිපාලන සේවා සංගමය පැය 48 ක වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් දියත් කළා. ඊට විසදුම් නොලැබීම හේතුවෙන් එම සංගමය තීරණය කළේ දේශපාලනඥයන් සහභාගි වන උත්සව වර්ජනය කිරීමටයි.

ඊට අමතරව සියළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන මගින් පවත්වන රැස්වීම් සදහා සහභාගි නොවීමටත් තීරණය කර තිබෙනවා. ගම්පෙරළිය, ශ‍්‍රමශක්ති, රට වෙනුවෙන් එකට සිටිමු, එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා ව්‍යාපෘතිවලට අදාළ රාජකාරීන්වලින් ඉවත්වීම සහ සමෘද්ධි රාජකාරීවලින් ඉවත්වීමටද දැනටමත් එම සංගමය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව එක්දින සේවාවන් සම්බන්ධයෙන් වන රාජකාරීවලින් ප‍්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරු ඉවත්ව සිටින බවයි ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය සදහන් කළේ.

මේ අතර සිය වැටුප් ගැටළුවට විසදුම් ඉල්ලා කි‍්‍රයාත්මක කළ වෘත්තීය කි‍්‍රයාමාර්ග දැඩි කිරීමට විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුවද තීරණය කර තිබෙනවා.

(Neth)