Wednesday, October 23, 2024
Follow Us
වර්ජනය තාවකාලිකව නතර කළ පරිපාලන සේවා සංගමය වෙනත් පැත්තකින් සටන ගෙනයයි

දේශපාලඥයින් සහභාගි වන සියලූම උත්සවය අද (12) සිට වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා. ඒ සිය වැටුප් විශමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඉකුත් දින දෙකේදී සිදු කළ වැඩ වර්ජනයට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්.

පරිපාලන සේවා නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා දෙකක් පැවැත්වුණා.

එහිදී යම් පොරොන්දු ලැබුනත් සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසන්නේ.

ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී හෝ සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් අපේක්ෂා කරන බවද එසේ නොවුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට අදහස් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති පෙන්වා දුන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අතහැර දැමුවත් ඉල්ලීම් දිනා ගැනීමේ සටන තවදුරටත් ක්‍රියාත්මක බවයි.

ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉකුත් දින දෙකේදී සිදු කළ වැඩවර්ජණය හේතුවෙන් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනයන් ගණනාවක සේවා බිඳ වැටුණා. රාජ්‍ය විශ්ව විද්‍යාලවලද අධ්‍යන කටයුතු මේ නිසා අඩාල වූ බවයි නෙත් නිවුස් මීට පෙර වාර්තා කළේ.

සිදු වූ මෙම බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටු වන බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියා සිටියා.


(Neth)