Wednesday, October 23, 2024
Follow Us
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථා සභාපතිගේ නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට

කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය සහ ගොඩනැගිලි උපකරණ විකුණා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය. අයි.එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව හෙට ‌ (10) දින සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබිය. එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ සංශෝධිත චෝදනා පත්‍රය පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂි විභාගය අද දින ආරම්භ කිරීමට නියමිතව තිබුණද එම විභාගය හෙට (10) දින දක්වා කල් තැබීමට තීන්දු කළහ.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත්කළ සිතාසියකට අනුව සාක්ෂි දීම සඳහා නඩුවේ පැමිණිලිකරු වන ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ. නාගරාජ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ඉන්දියානු ජාතිකයා සතුව තිබෙන මෙම නඩුවට අදාළ යැයි කියනු ලබන දුරකථන සංවාද අඩංගු ජංගම දුරකථන දෙකක් හෙට (10) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයා වෙත නියෝග කළහ.

2018 වසරේ මැයි මස නව දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි

ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නමිකර තිබෙනවා. ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ.

(Aruna)