Wednesday, October 23, 2024
Follow Us
ක්‍රිකට් වාර්තා පොතට මාලිංගගෙන් අලුත් පිටුවක්

මීට වසර 12 කට පෙර කොදෙව් දේශයේදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් ලබා ගනිමින් පෑ පෙළහර, ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි 20/20 තරගයේදී නැවත ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට ලසිත් මාලිංග ඊයේ (06) පල්ලෙකැලේ පැවති තෙවන 20 – 20 ක්‍රිකට් තරඟයේදි සමත්විය.

ඒ නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු හතර පිට පිට පන්දු හතරකදී දවා ගනිමිනි.

නවසීලන්ත ඉනිමේ තෙවැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී අරම්භක පිතිකරු කොලින් මුන්රෝගේ කඩුල්ල මාලිංගගේ යෝකර් පන්දුවකට බිළි වූ අතර සිව්වැනි පන්දුවේදී හමීෂ් රදර්ෆර්ඩ් දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. ඉන්පසු යැවූ පස්වැනි පන්දුව කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම්ගේ කඩුල්ල සුනු විසුනු ක‍ළ අතර ඉන්පසු පිටියට පිවිසි අත්දැකීම් බහුල පිතිකරු රොස් ටේලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලසිත් මලිංගගේ නම නැවතත් ක්‍රිකට් ඉතිහාස පොතේ රනින් සටහන් කරමිනි.

ඒ අනුව පිටපිට පන්දු හතරකදී කඩුලු හතරක් දවා ගැනීමේ දස්කම එක්දින පිටියේ මෙන්ම 20/20 පිටියේද පෙන්වූ එකම පන්දු යවන්නා බවට පත්වීමට ලසිත් මාලිංග සමත් විය.

එමෙන්ම කොලින් මුන්රෝගේ කඩුල්ල දවා ගැනීමත් සමග ලසිත් මාලිංග සිය කඩුලු ශතකය සම්පූර්ණ කර ගත්තේ එම දස්කම සිදුකළ ලොව එකම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 8ක් දැවී ලකුණු 125ක් රැස්කර ගත්තේය.

ලකුණු 126 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය පන්දුවාර 16 කදි ලකුණු 88 කට සිමා කිරිමට ශ්‍රි ලංකා ක්‍රිඩකයින් සමත්විය.

ඒ අනුව ලකුණු 37 කින් ජයග්‍රහණය කිරිමෙන් පසුව තරගයේ වීරයාට හිමි සම්මානය ලසිත් මාලිංග ට හිමි වු අතර තරගාවලියේ ජය නවසිලන්ත කන්ඩායමට හිමි විය.

(Aruna)