Wednesday, October 23, 2024
Follow Us
නීතිපති දෙපාර්තමේන්තුවත් සහරාන්ගේ පඩි ලැයිස්තුවේද ?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහරාන් හෂීම්ගේ පඩි ලැයිස්තුවේ සිටියේදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (06) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

දිලීපගේ ප්‍රහාරය

ඒ, පූජිත්ට සහ හේමසිරිට ඇප නියම කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයෙහි ගොනු කර තිබුණු ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

2016 වසරේ සිට රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ වාර්තා 347ක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

දැඩි ප්‍රහාරාත්මක ප්‍රවේශයකින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙතෙක් හෙළිවී ඇති කරුණු යළි අවධාරණය කරමින් ඉහත කී දෙදෙනාට ඇප ලබාදීම සඳහා කොළඹ මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය අසම්මත සහ අවිධිමත් එකක් බවට චෝදනා කරමින් එය අවලංගු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මීට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ තම සේවාදායකයා වෙත බුද්ධි වාර්තා 97ක් යොමු කර ඇතැයි යන්න අසත්‍යයක් බවත් ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටියේ දින 150ක පමණ කාලයක් බැවින් මේ කියන ආකාරයට නම් සෑම දින එකහමාරකටම වරක් සහරාන් හෂීම් ගැන බුද්ධි වාර්තාවක් ඔහුට එවා තිබිය යුතු අතර එය ප්‍රායෝගික නොවන බවත් පෙන්වා දුන්නේය.

එසේම සහරාන් හෂීම් පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිගොනුව සම්බන්ධයෙන් තවමත් උපදෙස් ලැබී නොමැති බවත් ඒ මහතා සිහිපත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සද්භාවය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අධිනීතීඥ මලික් අසීස් මහතා සහරාන් සම්බන්ධ ලිපිගොනුව තමන් වෙත ලැබී වසර එකහමාරක් යන තෙක්ම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට නොහැකි වූ බව පිළිගත්තේය. එසේම සහරාන් සම්බන්ධ එම ලිපිගොනුවේ තිබුණු සාක්ෂි ඔහුව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් වූ බවත් පිළිගත් ඒ මහතා එදා එසේ උපදෙස් ලබාදුන්නේ නම් බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණු බවත් පිළිගත්තේය.

 

එහෙත් පසුදිනෙක තමන්ම ඉල්ලීමක් කර කාරක සභාව හමුවේ පෙනී සිටි දිලීප පීරිස් මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත දෝෂාරෝපණ වැලක් එල්ල කරමින් මලික් අසීස් නම් තම දෙපාර්තමේන්තුවේ අධිනීතීඥයා නිවැරදිකරුවකු බව ඔප්පු කිරීමට උත්සාහ කළේය.

මලික් අසීස්ම එදා වරද පිළිගත් නමුත් පසුව පැමිණි දිලීප පීරිස් මලික් අසීස්ව ශුද්ධ කරන්නට අපමණ වෙහෙසක් ගන්නා ආකාරය එහිදී මනාව පෙන්නුම් කෙරිණි.

නීතිය හැමට සමානද ?

පූජිත් සහ හේමසිරි වරදකරුවන් නම් ඔවුන්ට දඬුවම් කළ යුතුය. එහි කතා දෙකක් නැත. එහෙත් සියලු වැරදි ඔවුන් දෙදෙනා පිට පටවා අනෙක් සියල්ලන් අත් සෝදාගැනිමට උත්සාහ කරන්නේ නම් එයත් කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් පූජිත්ට, හේමසිරිට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ද චෝදනා එල්ල වී තිබේ.

පූජිත් සහ හේමසිරි නාමික වශයෙන් හෝ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන නියෝගයක් පිට රෝහල්ගතව හෝ සිටි නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ චූදිත නිලධාරීන්ගෙන් මෙතක් ප්‍රශ්න කිරීමක් හෝ සිදුව නැත.

කපුවාට දේවාලයේ පැහැරීමට ඇතැයි සිතන අයිතිය මෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ද ඕනෑම වරදක් කර නීතියෙන් ගැළවී සිටීමේ අයිතිය ඇතැයි දිලීපලා සිතා සිටින්නෙදැයි අප දන්නේ නැත.

එහෙයින් සාධාරණ ලෙස සිදුකෙරෙන්නේ නම් දිලීප පීරිස්ගේ යෝජනාවම පරිදි පූජිත් සහ හේමසිරි මෙන්ම දිලීප, නවාවි, මලික් අසීස් යන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහ හිටපු නීතිපතිවරයා ද සහරාන්ගේ පඩි ලැයිස්තුවේ සිටියේදැයි පරීක්ෂණ පැවැත්විය යුතු බව අපේ අදහසයි.

(LNW)