Tuesday, November 05, 2024
Follow Us
දරුවන් පාසල් වෙත එවීමට පෙර මව්පියන්ට උපදෙස් දෙයි

ඉදිරි සතියේ සිට අදියර කිහිපයක් යටතේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු මව්පියන් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ යළි සිහිකැඳවනවා.

සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස හා උණ යන රෝග ලක්ෂණ පැවතිය හොත් දරුවන් පාසල් වෙත යොමු නොකරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන වැඩි දුරටත් සඳහන් කළේ මුඛ ආවරණ පැළඳීමට අවශ්‍ය පියවර ගැනීමට අත්‍යවශ්‍ය කරුණක් බවයි. එමෙන්ම පාසලේදී දරුවන්ට අත් සේදීමට පහසුකම් සැළසීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම කෙරෙහි නිතර අවධානය දීම ආදිය ගැන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට වගකීම් පැවරෙන බවද සඳහන් කළා.

පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර යටතේ හෙට (29) දිනයේ පාසල් වෙත කැඳවා ඇත්තේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයයි. ජූලි 06 වනදා 05, 11 සහ 13 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනවා. 10 සහ 12 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ජූලි 20 වනදා සිට ආරම්භ කෙරෙනු ඇති.

03, 04, 06, 07, 08 සහ 09 යන ගේ‍්‍රණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ජුලි 27 වැනිදා සිට ආරම්භ කෙරෙනවා. 01 සහ 02 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. එක් එක් ශ්‍රේණි සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන කාල වේලාවන් ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 03 සහ 04 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේ පෙරවරු 07.30 සිට පෙරවරු 11.30 දක්වායි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින 05 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරෙනවා.

06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වායි. 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා සිදුකිරීමට නියමිතයි.

(Neth)