Tuesday, November 05, 2024
Follow Us
කුවේට්හි 'කබලෙන් ලිපට වැටුණු' ශ්‍රී ලාංකිකයන් පිරිසක්.

'කන්න බොන්න නෑ. අතේ සල්ලිත් නෑ. අපි පස් දෙනෙක් නිදා ගන්නේ ගැරේජ් එකක.''


''කුවෙටියෝ කෑ ගහනවා එක්කෝ ගෙවල් වලට පලයල්ලා...නැතිනම් එම්බසියට පලයල්ලා කියලා.''
''යන එනමං නැතිව ඉන්නකොට ලංකාවේ අක්කා කෙනෙක් අපිට පිහිට වුණා. අපි හත් දෙනෙකුට මාස තුනක් කන්න බොන්න දෙන්නේ ඒ අක්කා.''
මේ කුවේට් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් බීබීසී සිංහල සේවයට පැවසූ කඳුළු කතාවලින් කිහිපයකි.
රැකියා අහිමිව, අසරණ වී සිටි තමන් පොදු සමා කාලය තුළ භාරවීමට ගිය ද එම අවස්ථාව අහිමිවීමෙන් වඩාත් අසරණභාවයට පත්වූ බව ඔවුහු පවසති.
නීත්‍යානුකුල නොවන අයුරින් රැදී සිටින විදේශිකයන්ට රටින් පිටව යාම සඳහා කුවේට් රජය අප්‍රේල් මාසයේදී පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට භාර වීම සඳහා වෙන්කර තිබුණේ අප්‍රේල් 21 සිට 25 දක්වා ය.
එලෙස භාරවන අයගෙන් දඩ මුදලක් අය නොකෙරුණු අතර ඔවුන්ට කුවේට් රජය මගින් නොමිලේ ගුවන් ගමන් පහසුකම් සපයන ලදී. එමෙන්ම පොදු සමා කාලය තුළ පිටව යන අයට තහනමකින් තොරව යළිත් අවස්ථාවක කුවේට් රාජ්‍යට පැමිණීමට අවස්ථාව ලබා දීම ද විශේෂත්වයකි.
භාර වීමට පැමිණි අය ''කබලෙන් ලිපට වැටීම''
මේ අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගෙන යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් භාර වීම සඳහා බොහෝ දෙනෙක් කුවේට්හි, පර්වනියා පිරිමි සහ කාන්තා පාසල් වෙත පැමිණ සිටියහ. එහෙත් කුවේට් බලධාරීන් විසින් භාරගනු ලැබුවේ වීසා නොමැතිව රැදිසිටි අයගෙන් ගුවන් ගමන් බලපත්‍රය තිබූ අනන්‍යතාව තහවුරු කිරීමට සමත් වූ අය පමණි. එහෙත් බොහෝ දෙනෙකු සතුව ගුවන් ගමන් බලපත්‍ර තිබුණේ නැත. ඔවුන්ට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් තාවකාලික ගමන් බලපත්‍ර රැගෙන එන්නැයි දැනුම් දී තිබුණ ද පොදුසමා කාලය තුළ එම අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි විය.
''අපිව පරවනියා ඉස්කෝලෙදි භාර ගත්තේ නැති නිසා එම්බසියට ගියා. එතනින් භාර ගත්තෙත් නෑ. ඊට පස්සේ පාරේ ඉන්නකොට පොලිසියෙන් ආවා. අපි යන්තම් පාරවල් දිගේ දුවලා යන්තම් බේරුණා. දැන් ඉන්න තැනකුත් නෑ. කලින් හිටපු තැන්වලින් භාර ගන්නෙත් නෑ. කුවෙටියෝ කෑ ගහනවා එක්කෝ ගෙවල් වලට පලයල්ලා...නැතිනම් එම්බසියට පලයල්ලා කියලා.'' යනුවෙන් කුවේට්හි සිටින විජිත බස්නායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
කුවේටයේ සිටින ඒ.එච්.ටී රේණුකා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් ද කළාය.

ෂර්ලි උපුල් කුමාර
බීබීසී සිංහල.