Friday, November 01, 2024
Follow Us
විශ්වවිද්‍යාල වසර අග විභාග පමණයි

පළමු අධ්‍යයන වාරයේ (Semester) විභාග නොපවත්වා වසර අවසානයේ විභාග පමණක් පැවැත්වීමට සියලු විශ්වවිද්‍යාල තීරණය කර ඇත.

පවතින තත්ත්වය මත සිසුන් විශ්වවිද්‍යාලවලට කැඳවීම ගැටලුවක් හෙයින් පළමු අධ්‍යයන වාරයේ විභාග නොපවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපලති මහාචාර්ය සුදන්ත ලියනගේ ‘අරුණ’ට ඊයේ (12 වැනිදා) පැවසීය.

අධ්‍යයන කටයුතු ආරම්භ කරන තෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් සම්බන්ධ කර ගනිමින් දේශන හා අනෙකුත් අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා කීවේය.

මාර්ගගත ක්‍රමයට සම්බන්ධ වීමට තාක්ෂණික පහසුකම් නොමැති සිසුන්ට තැපැල් මාර්ගයෙන් පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව උපකුලපතිවරුන්ගේ කමිටුව සමග සාකච්ඡා කරමින් සිටින බවත් ලබන සතිය වන විට ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.

ලොව වෙනත් විශ්වවිද්‍යාලවල ඊළඟ අධ්‍යයන වාරයේ අධ්‍යයන කටයුතු පවා මාර්ග ගත ක්‍රමයට සිදු කරන බවත් වෛරසයට එන්නතක් සොයා ගන්නා තෙක් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් සභාපතිවරයා තවදුරටත් කීවේය.

(Aruna)