කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමත් සමග නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් තත්ත්වය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වනු ඇතැයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස අවසානයේදී ආරම්භ වනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසර කීපයේදී මෙන් මෙවරද නිරිත දිග මෝසම සක්‍රීය වුවහොත් ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවට ආපදා කළමනාකරණ අංශ අනතුරු හඟවයි.
ආපදා වැඩි වශයෙන් වාර්තා වූයේ ඉකුත් 2016 සහ 2017 යන වසරවලදී බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවලට අනුව 2016 වසරේදී වැසි, ගංවතුර, නාය යෑම් ආදී විවිධ ආපදා හේතුවෙන් අතුරුදන් සහ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 262කි.
තුවාල ලැබූ සංඛ්‍යාව 70කි. 2017 වසරේදී ආපදා හේතුවෙන් මියගිය සහ අතුරුදන් සංඛ්‍යාව 509ක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 348කි.
මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නිරිත දිග මෝසම සක්‍රීය වීම නිසාවෙනි. නිරිත දිග මෝසම සක්‍රීය වීම නිසා ඉකුත් වසරේදී ද (2019) උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට බලපෑම් එල්ල විය.
(Aruna)