Friday, November 01, 2024
Follow Us
තාවකාලික ණය සහන ගත් අය ගැන ක්‍රිබ් එකෙන් තොරතුරු ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය සහන ලබා ගත් පුද්ගලයන් පිළිබඳව ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් සියලුම බැංකුවලින් ඉල්ලා ඇත.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවන ආර්ථික අපහසුතා සලකා ගනුදෙනුකරුවන් ලබාගත් ණය මුදල් වෙනුවෙන් (ප්‍රාග්ධනය සහ පොලිය සලකා බලා) මාස එකේ සිට හය දක්වා ණය සහන ලබා දෙන ලෙස මහබැංකුව විසින් වාණිජ බැංකු සහ කල් බදු සමාගම් වෙත උපදෙස් ලබාදී තිබිණි.

ස්වයං රැකියාලාභීන් විසින් භාවිත කරන වාහනවල ලීසිං සඳහා මාස හයක් සහන ලබාදීම, විධායක නොවන සේවක පිරිස්වල පෞද්ගලික ණය සහ ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා සහන ඇතුළු සහන ගණනාවක් මෙලෙස ලබාදීමට නියමිතය.

සංචාරක, ඇඟලුම්, වැවිලි හා තොරතුරු තාක්ෂණ අංශවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද මෙම පැකේජය ඔස්සේ සහන සලසා ඇත.

මේ අතර මහ බැංකුව විසින් නිවේදනය කරන ලද්දේ අයහපත් ණය තොරතුරු වාර්තා (ක්‍රිබ් වාර්තා) පදනම් කර ගනිමින් සහන අයැදුම් කරන පුද්ගලයන්ගේ අයැදුම්පත් බැංකු හෝ මූල්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවයි.

(Aruna)