Saturday, October 19, 2024
Follow Us
පොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවති මාධ්‍ය හමුවේදී මිලින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී  වාද විවාද කර බහුතර ඡන්දයෙන් සම්මත කරගත් බවත් එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ඉඟියක් හෝ මේ දක්වා ලැබී නොමැති බව කී මිලින්ද රාජපක්ෂ මහතා මහලේකම් තනතුර වෙනස් කිරීමට දේශපාලන මණ්ඩලයට නොහැකි මෙන්ම ඒ සඳහා විධායක කමිටුව රැස් විය යුතු බව ද සඳහන් කළේය.

කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවත් වර්තමානයේ මෙම උත්සාහය ද පක්ෂයේ සියලු දෙනාම රැකගැනීම බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.