Saturday, October 19, 2024
Follow Us
දේශපාලනයට පෙර රට ගැන සිතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය

දේශපාලනයට පෙර රට පිළිබඳ සිතන ඕනෑම අයෙකු මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ලෝකයේ බලගතු නායකයින් බිහිව තිබෙන්නේ දුෂ්කර අවස්ථාවන්වලදී බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රබල නායකත්වයක ගති ලක්ෂණ පෙන්නුම් කළ බවද කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ " ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා
මෙසේද පැවසීය

2022 වසරේ පැවති ආර්ථික අර්බුදය නිසා සියලු ජනතාවට පීඩාවට පත් වුණා. එම පීඩාවෙන් ජනතාව බේරා ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිවරයා එක් මන්ත්‍රී ආසනයක් පමණක් තබාගෙන ජනතාව වෙනුවෙන් ඉදිරියට ආවා. එහිදී අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මේ වන විට රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ත්‍රස්තවාදී යුද්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා බේරා ගත්ත රට, ආර්ථික යුද්ධයෙන් බේරා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

එබැවින් මේ මොහොතේ දේශපාලනයට වඩා රට පිළිබද සිතන ඕනෑම කෙනෙකු සහාය දක්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. ඒ අනුව මෙවර මාතලේ ජනතාවගේ ආශීර්වාදය මැද රනිල් වික්‍රමසිංහ මහතාට මාගේ සහයෝගය ලබාදී යුතුකම ඉටු කිරීමට මා තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ගම් මට්ටමින් බිහි වූ පක්ෂයක් බව කිව යුතුයි. මාතලේ දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මා ක්‍රියාකාරිකව කටයුතු කරනවා. ජනතාව මා සමඟ සිටින තාක් කල් මා ජනාධිපතිවරයාට සහයෝගය දක්වනවා. එසේ නොමැති නම් ගෙදර යනවා.

ලෝකයේ දුෂ්කර අවස්ථාවන්වලදී තමයි බලගතු නායකයෝ බිහි වුණේ. පසුගිය ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනිමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රබල නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කළා. අද මේ රට මේ තැනට පත්ව තිබෙන්නේ එතුමාගේ නිවැරදි ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය නිසයි.

1945 වසරේ දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කරවූ වින්සස්ටන් චර්චිල් අග්‍රාමාත්‍යවරයා පසුව පැවැති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් පරාජයට පත් වෙනවා. එහිදී ජයග්‍රහණය ලබා අග්‍රාමාත්‍යවරයා බවට පත් වනනේ යුද්ධය අවස්ථාවේදී රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ ක්ලෙමෙන්ට් ඇට්ලි මහතායි. ඉතිහාසය නැවත ලියවෙනවා වගේ ලංකාවෙත් මේ සිදුවෙන්නේ එවැන්නක් බව පැවසිය යුතුයි.

ඒ වගේම ක්‍රීඩා ක්ෂේත්‍රය ගැනද සඳහන් කළ යුතුයි. පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. ක්‍රීඩාව වෙනුවෙන් ඔන්බුස්මන්වරයෙක් පත් කිරීමද සිදුකර තිබෙනවා. මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම පහසුකම් ලබාදීමටද කටයුතු කළා. ශ්‍රී ලංකාවේ තිබෙන හොකී ක්‍රීඩාංගණ දෙකෙහිම ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ලබන මස 15 වනදා විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවත් සමස්ත ක්‍රීඩාව නංවාලීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා.