Saturday, October 19, 2024
Follow Us
සම්ප්‍රදායානුකූල මතවාදවලට වැඩ කළොත් සිවිල් යුද්ධයක් එයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාල පාර්ශ්ව විසින් බාරගත යුතු බවද  අබෙිවර්ධන මහතා කීය.

නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ අබෙිවර්ධන  මහතා සාම්ප්‍රදායික පටු බෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙන බව කී අබෙිවර්ධන මහතා  ඉතිහාසයේ මෙරට කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙන බව කීය.

පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වු බව කී අබෙිවර්ධන මහතා  නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද? 

එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් ඇති නොවීමට ඡන්දය භාවිත කරනවාද යන ප්‍රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ තිබෙන බව සඳහන් කළේය.