Saturday, October 19, 2024
Follow Us
මෙරට සමහරු ඊශ්‍රායලයේ ගිහිල්ලා කරන දේවල් මෙන්න

ඊශ්‍රායලයේ රැකියා සඳහා යන පිරිස් සිය අරමුණ පසෙකලා ඒ රටට ශ්‍රී ලාංකිකයන් එපා වෙන විදියේ කටයුතු සමහරු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

 

අමාත්‍යවරයා ඒ පිළිබඳව මෙසේ විස්තර කළේය.

"අපේ රටට ඊශ්‍රායලයේ රස්සා හුඟාක් හම්බ වෙලා තියෙනවා. අපි ශ්‍රමිකයින් යවාගෙන යනකොට ලංකාවෙ පුරුද්දට එතන ගිහින් 'දියව් දියව්' කියා තිබෙනවා. කෘෂිකර්මාන්තයේ රැකියා 10,000ක් ඉදිකිරීම් රැකියා 30,000ක්, පුළුල් සංවර්ධන සාමාන්‍ය රැකියා 30,000ක්, හෝටල්, රැකියා 20,000ක්, ආපනශාලා රැකියා 20,000ක් හම්බ වෙලා තියෙනවා.
දැන් එහෙන් බලනවා ලංකාව දියුණු නොවුණේ මේ උද්ඝෝෂණකාරයෝ නිසා, මෙහෙටත් එහෙම වෙයිද කියලා. ඒ නිසා දැන් ටිකක් ඒ තත්ත්වය අවදානමට ලක් වෙලා. මේ වතාවේ කණ්ඩායමක් යද්දි අපි කිව්වා 'බුදු පුතේ, දෙයියනේ කරදරයක් නොකර වැඩ කරන්න, එතකොට තමයි අනිත් අයටත් රැකියාවට එන්න පුළුවන්' කියලා. සමහරු එහෙ ගිහිල්ලා පිහියෙන් ඇනගන්නවා, බීලා පිස්සු නටනවා.
යන්නේ මොකටද කියලා දන්නේ නෑ. තමන්ගෙ ඉලක්කය, අරමුණ මොකක්ද කියලා අවබෝධ කරගෙන ගියොත් මේ රටේ හැම ගමකම සල්ලි බෙදිලා ව්‍යාපාරිකයන් බිහි වෙනවා. ඒකට සමහර දේශපාලන පක්ෂ කැමති නෑ. ඔබ සංවර්ධනය වෙනවට කැමති නෑ. සමහර හිඟන්නන්ට ඕන තුවාල තියාගන්න. තුවාල තියාගෙන තමයි සල්ලි ගන්නේ. මිනිසුන්ගේ දුප්පත්කම සමහර අයට ඕන. අපේ තරුණයින් රට ගිහින්, ව්‍යවසායකයින් වුණොත් ඒ අයට දේශපාලනය කරන්න, වෛරය වපුරන්න බැරි වෙනවා. තියෙන එකා, නැති එකා කියලා වෛරය වපුරන්න බැරි වෙනවා. ඒ නිසා සමහර විට ඊශ්‍රායලයේ ඕනකමින් උද්ඝෝෂණ කරන්න සැලසුවද කියලත් අපිට හිතෙනවා.