Saturday, October 19, 2024
Follow Us
ආණ්ඩුවේ කාලය තව අවුරුදු 2ක් දෙන්න

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම පරිසර දූෂණයක් සිදුවනවා සේම රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ගවලටත් විශාල සහායක් ලබා ගැනීමට තිබෙන හැකියාව අහිමි වන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

මේ රටේ ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කර උගත්, බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යැව්වත් ඒ අය නිසි ආකාරයෙන් තමන්ගේ වගකීම ඉටු කර නොමැති බවත් ඒ නිසාම ලංකාව පළමු වතාවට බංකොලොත්භාවයට පත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

දැන් ඒ තත්ත්වයෙන් මුදාගෙන ජයග්‍රහණ රාශියක් දිනා ගන්න හැකියාව ලැබී තිබෙනෙ බව සඳහන් කළ ඒ මහතා  ආර්ථිකය ශක්තිමත් වෙලා ජනතාවට සහන ලබාදී පරිපාලන ව්‍යුහය ශක්තිමත් කර තිබෙන බවත් අධ්‍යාපනය යථාවත් වෙලා තිබෙනව බවත් පැවසීය.

වැඩිදුරටත් ඔහු මෙසේ පැවසීය.

"ඒ නිසා දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වෙලා තවත් අවුරුදු දෙකක කාලයකට මේ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කිරීමයි කියලා ප්‍රකාශ කරන්න කැමතියි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන් එකතුවෙලා මේ තීරණය ගත යුතුයි.

මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමනක් අපට පෙනෙන්න තිබෙනවා. ජාත්‍යන්තරය සමඟ තිබෙන එකඟතා ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සතුවයි කියන එක අපි දන්නවා. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙනවා. ජනමත විචාරණයකට ගිහින් එය තහවුරු කර ගැනීම ඉන්පසු කරගතයුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව එය ඉටු කළ යුතු වෙනවා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලන්න තිබෙන්නේ මැතිවරණ සිතියම අකුළනවා වගේ කතාවක් නොකියා මේ ක්‍රියාවට ඉඩ දෙන්න සහයෝගය දක්වන ලෙසයි."