Sunday, October 20, 2024
Follow Us
සරසවි අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය අද (08) කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ දිනයන්හි සිදු කරන වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. විශ්වවිද්‍යාල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලවලට 2016 වසරේදී වැටුප් වැඩිවීමක් දුන් බවත් එතැනදී අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සියයට 92කින් වැටුප් ඉහළ නැංවූ අතර අධ්‍යයන කාර්ය මණ්ඩලයට සියයට 107කින් වැටුප් වැඩි කිරීමක් සිදු වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

එතැන තිබෙන සියයට 15ක පරතරය වැටුප් කප්පාදුවක් විදිහට වෘත්තීය සමිති සලකන බවත් නමුත් 2016 වර්ෂයේ සිට 2024 දක්වා මේ ප්‍රශ්නයට කිසිවකු අත ගසා නොතිබූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා ලෙස මම සාකච්ඡා වට ගණනාවක් පවත්වා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් අද (08) කැබිනට් අනුකමිටුවට ගැනීමට නියමිතව ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

මාසික හිලව් දීමනාව සම්බන්ධයෙන් වන ගැටලුව ද මතු කර ඇති අතර එහි කැබිනට් පත්‍රිකාවත් අද (08) ගැනීමට නියමිතව ඇතැයි ද, ඒ බව වෘත්තීය සමිති දැනුම්වත් යැයි ද ඇමැතිවරයා කීය.