Sunday, October 20, 2024
Follow Us
වතු ජනතාවගේ ගැටලු මා කිසිවිටෙකත් අමතක කර නැහැ- ජනපති

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය අමතමිනි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා ඊට එක්වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයාව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය.

අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වුණු අතර කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩකරන ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවරට මෙහිදී කඳුකර ජනතාවගෙන් හිමිවූයේ ඉහළ ප්‍රතිචාරයකි.

රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලයින් කාමර නීතියෙන්ම ගම්මාන බවට පත්කර ඒවායේ පහසුකම් සංවර්ධනය කරන බවයි. එමෙන්ම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනයත්, වෘත්තීය අධ්‍යාපනයත් දියුණු කිරීමට විශේෂ අවධානයකින් කටයුතු කරන බවද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් වුවද මෙරට ජාතික ආර්ථිකය වෙනුවෙන් වතු ජනතාව ලබාදුන් දායකත්වයට ස්තුතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

මැයි දින රැළිය අමතා තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අප සියලුදෙනා පසුකළේ ඉතා අසීරු කාලයක්. එහිදී වැඩි වශයෙන් දුක් වින්දේ වතුකරයේ ජනතාව බව අප දන්නවා. නමුත් ඔවුන් දුෂ්කරතා හමුවේ වුවද තේ අස්වැන්නෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දුන්නා. තේ අපනයනයෙන් අපට 2023 වසරේ වගේම 2024 වසරේද විදේශ විනිමය ලැබුණා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මම ඔබට ස්තූතිවන්ත වෙනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වූයේ ඔබේ දහඩිය මහන්සියෙන් බව පැවසිය යුතුයි.මෙහි සිටින කිසිවෙකුට නැවත 2022 දී රට පැවති තත්ත්වයට යාමට අවශ්‍යයි කියා මම සිතන්නේ නැහැ. අපි කිසිවෙක් ඊට සූදානම් නැහැ. අපි ඉතා දුක්ඛිත තත්ත්වයක් පසු කළා. දැන් මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. දැන් සියලුදෙනාට සහන සැලසීමට අප කටයුතු කරනවා.

අප රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම අස්වැසුම මගින් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නංවා තිබෙනවා. ඒ සමගම පුද්ගලික අංශය ද වැටුප් වැඩිකිරීම් සිදු කර තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කරනවා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න අප අමතක කර නැහැ. මෙම ලයින් කාමර තිබෙන ස්ථාන නීතියෙන් ගම්මාන ලෙස හඳුන්වා දීමට මම සහ අගමැතිතුමා සාකච්ඡා කර තිබෙනවා. එවිට මෙම ස්ථානවලට ගම්මානවලට ඇති පහසුකම් ලැබෙනවා. ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා සමඟ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන්ට විද්‍යා විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීමට අප කටයුතු කරනවා. මම අගමැතිව සිටියදී වතුකරයේ පාසල් ගණනාවක විද්‍යාගාර ආරම්භ කිරීමට කටයුතු කළා. එම ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කර ඒවා දියුණු කිරීමට ද කටයුතු කරනවා. ඒ වගේම වතුකරයේ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට ද අපි පියවර ගෙන තිබෙනවා.

අපි රජයක් ලෙස කිසිවිටෙක වතු කම්කරු ජනතාව අමතක කර නැහැ. එම ජනතාවගේ සියලු ගැටළු පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපති ලෙස මා යටතේ වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බව ප්‍රකාශ කිරිමට කැමතියි.

1982 වසරේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම අනුව වතු පාසල් දියුණු කිරීමේ වගකීම එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා විසින් භාරගත්තා. ඉන්පසුව 1986 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පුරවැසිකම නොමැති පිරිසට පුරවැසිකම ලබාදෙන ලෙස ප්‍රකාශකළ විට ඒ සඳහා ද මම සහයෝගය ලබා දුන්නා. 2003 ආරුමුගන් තොණ්ඩමන් මහතා සමඟ ඉන්දියාවේ පුවරසිභාවය තිබෙන නමුත් ලංකාවේ සිට ඉන්දියාවට යාමට අකමැති වු පිරිසට පුරවැසිභාවය ලබා දුන්නා. දැන් ඒ ප්‍රශ්න සියල්ලම විසඳි තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ප්‍රදේශ දියුණු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි වැටුප් වැඩි කිරීම් සිදු කරමින් මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අප කටයුතු කරන්නේ.

ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ගමට පමණක් නොව වතුකරයටත් ගෙන එන බව ද මම ප්‍රකාශ කිරීමට කැමතියි.