Saturday, October 19, 2024
Follow Us
මධුමාධව ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්

මිනුවන්ගොඩ නගරයේ ඉකුත්දා ඇතිවූ කලහාකාරී සිද්ධින් වලට සම්බන්ධ බවට සැකකරෙන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද සිලවර්ධන ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට විදෙස් ගතවීම වළක්වාලීමේ නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි.ඒ.සමරදිවාකර මහතා විසින් ආගමන විගමන පාලකවරයා වෙත අද (27) නිකුත් කරනු ලැබුවා.

මධුමාධව අරවින්දට අමතරව මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි කේ.පි.අතුල දයාරත්න සහ හීනටියන ප්‍රදේශයේ පදිංචි කේ.නුවන් උපේන්ද්‍ර ගුණරත්න යන පුද්ගලයින් දෙදෙනාට විදෙස් ගතවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කලේ.

පසුගිය මැයි මස 13 වෙනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණඩායමක් විසින් බුද්ධි අංශ, පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් සහ CCTV දර්ශණ මගින්ද විමර්ශන සිදුකරනු ලබයි. එලෙස සිදුකරනු ලැබූ විමර්ශන වලදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 15 දෙනෙක් පිලිබද වන තොරතුරු අධිකරණයට අද දැනුම් දෙනු ලැබුවා.

මෙම කලහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 17 දෙනෙකු මේ වන විට අධිකරණය මගින් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

(Neth News)