Thursday, October 24, 2024
Follow Us
සජිත් පාර්ශ්වය අන්තිමේ හතරට බහී !

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයට සහාය පළ කළ මැති ඇමතිවරුන් අතරින් 20 දෙනෙකු පමණ මේ වනවිට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමන් පක්ෂයේ තීරණයකට පිටින් නොයන බවත් එක් එක් පුද්ගලයින් පසුපස යමින් කල්ලි, කණ්ඩායම් බිහිකිරීමට ක්‍රියා නොකරන බවත් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සජිත් පාර්ශ්වයේ බලපෑම් සහ බේගල් පොරොන්දු

ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කර ඇත්තේ තමන් සජිත් පිලට සහාය දෙන බවට ලේඛනවලට අත්සන් තැබුවේ එම පිලේ නායකයින් තමන්ට එල්ල කළ බලපෑම් නිසා බවයි. සජිත් පිලේ නායකයින් තමන්ව නිතර නිතර හමුවෙමින් සහ දුරකථනයෙන් අමතමින් පක්ෂයේ සමස්ත සාමාජිකත්වයෙන් 95%ක්ම සිටින්නේ තමන් සමඟ බැවින් ඉක්මනින්ම තමන් පක්ෂයේ බලය ලබාගන්නා බවත් දැන්ම තියා සජිත්ට සහාය නොදුන්නොත් සජිත් පක්ෂ නායකයා වූ පසුව කරදර විය හැකි බවටත් කළ බලපෑම් හමුවේ තමන් එකී ලිපිවලට අත්සන් තැබූ බව ඔවුන් විසින් පක්ෂ නායකයාට ප්‍රකාශ කර ඇත.

එසේම සජිත් පාර්ශ්වය අදාළ මන්ත්‍රීවරුන්ට තරයේ අවධාරණය කර ඇත්තේ පසුගිය අගෝස්තු 22 වනදා වනවිට තමන් පක්ෂයේ බලය අල්ලා ගන්නා බවය. එතැන් පටන් එය සතිය ගණනේ කල්දැමූ ඔවුන් රනිල් - සජිත් හමුව පැවති පසුගිය 10 වනදා ද ප්‍රකාශ කර තිබුණේ එදින අනිවාර්යයෙන්ම සජිත්ට අපේක්ෂකත්වය හිමිවන බවය. එදින ද එය නොලැබුණු තැන අනිවාර්යයෙන්ම මේ සති අන්තය තුළ අපේක්ෂකත්වය ලබාගන්නා බවට ඔවුන් පොරොන්දු දී තිබේ.

එහෙත් සජිත් පිලට කියන තරම් බලයක් පක්ෂය තුළ නොමැති බව මන්ත්‍රීවරුන් හමුවේ මේ වනවිට තහවුරු වී තිබෙන්නේ ඔවුන් කී කිසිවක් මෙතෙක් ඉටු නොවූ නිසාය.

පක්ෂයට එරෙහි බලවේග සමඟ සම්බන්ධය

එමෙන්ම, සජිත් පාර්ශ්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සන්ධානයකට සූදානම් වන්නේය යන්න කටකතාවකැයි මන්ත්‍රීවරුන් මුලදී සිතූ නමුත් දිනෙන් දින සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා සමඟ ප්‍රසිද්ධියේම ඉතාම සමීපව ඇසුරු කිරීමට පටන් ගැනීමත් සජිත් පිලේ සෙසු ප්‍රධානීන් ද එසේම ජනාධිපතිවරයා සමඟ නිරන්තර ගනුදෙනුවක නිරත වන ආකාරය අනාවරණය වීමත් සමඟ පක්ෂයට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබඳව ද මන්ත්‍රීවරුන්ට ඉව වැටී ඇත.

එජාපයේ ඡන්දවලින් බලයට පැමිණ එජාප ආණ්ඩුව උදුරාගෙන මහින්ද රාජපක්ෂ මහතාට පැවරූ, එක්සත් ජාතික පක්ෂය සමඟ දරුණු වෛරයකින් පසුවන ජනාධිපතිවරයා සමඟ මෙතරම් ඇඟෑළුම්කමක් සජිත් පිලේ ප්‍රධානීන් පවත්වාගෙන යන්නේ එජාපයට හොඳක් කිරීමේ අරමුණින් නම් නොවන බව මන්ත්‍රීවරුන්ට වැටහී තිබේ.

මේ අතර සජිත් පිල වෙනුවෙන් සීමාව ඉක්මවා කටමැත දොඩන්නට ගොස් අමාරුවේ වැටුණු අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වචනයකින් හෝ පෙනී නොසිටීම ද මන්ත්‍රීවරුන්ගේ කලකිරීමට හේතුවී ඇත.

ඔවුන් වහාම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සියල්ල පැවසීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.

 

සජිත් පිලට දැන් ඉන්නේ 4යි

එහෙයින් මේ වනවිටත් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබිය යුතු බවට මස් රාත්තලම ඉල්ලන මට්ටමෙන් දැඩිමතධාරීන් ලෙස රැඳී සිටින්නේ සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් පමණක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඔවුන් ද මේ වනතෙක් හෝ සටන අල්ලාගෙන සිටින්නේ මංගල සමරවීර මහතා විසින් ගෙනයන මාධ්‍ය මෙහෙයුම මත පමණක්ම රඳා පවතිමින් බව ද වාර්තා විය.

(LNW)