Thursday, October 24, 2024
Follow Us
එජාපයට සහ පොහොට්ටුවට ගිය ශ්‍රීලනිප පිරිසගේ මන්ත්‍රි ධූර ආපසු ගන්න තීරණය කරයි

පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඒ අනුව මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්තී‍්‍රවරුන් තිදෙනාගේ මෙන්ම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ ද ධූර අහෝසි කිරීමටයි තීරණය කර ඇත්තේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර ආණ්ඩුවට සහය පළ කළා.

ඉකුත් දා එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරවලින් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය මාරු කළ මන්තී‍්‍රවරුන්ට එරෙහිව පළමුව පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර තම පක්ෂය සතු මන්තී‍්‍රධූර බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව ද මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.

ඒ අනුව "සාකච්ඡා අසාර්ථක නම් අනිවාර්යයෙන්ම අපේ පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වෙන්නේ නැත්නම්, අපි ඉදිරිපත් කරන රට ගොඩනගන වැඩපිළිවෙලට එකඟතාවයක් එන්නේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම වෙනම තරග කරන්න සිද්ධ වෙනවා නේ." යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිවරණය කල් දැමීමේ බලාපොරොත්තුවක් ජනාධිපතිවරයාට නොමැති බවත් ජනාධිපතිවරණය නිසි වේලාවට පැවැත්වෙනු ඇති බවත් මෙහිදී සඳහන් කෙරුණා.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කළ යුතු බවට ද දිගින් දිගටම යෝජනා ඉදිරිපත් වෙමින් ඇතැයි පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජි්කත්වය ලබා ගත් එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර යළි ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

(Neth)