Thursday, October 24, 2024
Follow Us
ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකකම කෙහෙළියට දීම ගැන විමල්, දිනේශ් නොසතුටින්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්ව කිහිපයක්ම විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් පත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ යනු ජාතිකවාදී කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බැවින් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමිවිය යුත්තේ ජාතිකවාදී දේශපාලනයේ නිරත ‍ජ්‍යේෂ්ඨයකුට බවත් කෙහෙළිය රඹුක්වැල්ල එම කඳවුර නියෝජනය කරන්නෙකු හෝ එම දේශපාලනය හරිහැටි දන්නා පුද්ගලයකු හෝ නොවන බැවින් මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

එසේම සල්ලාලයෙකු සහ ස්ත්‍රී ලෝලියෙකු වශයෙන් කුප්‍රකට කෙහෙළියට මෙම තනතුර ලබාදීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චරිතයටත් කැළලක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මීට පෙර ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර දැරුවේ දිලිත් ජයවීර මහතා විසින් ගෝඨාට හඳුන්වා දුන් මිලින්ද රාජපක්ෂ නම් තරුණ දේශපාලනඥයා විසිනි. ඔහුව කරළියෙන් දුරස් කිරීම දිලිත්ගේ ද නොසතුටට හේතුවී ඇති බව සඳහන්.

මේ අතර ගෝඨාගේ "වියත් මඟ" කණ්ඩායමේ අදහස වී ඇත්තේ ගෝඨාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුල පටන්ම වෙහෙසුණේ තමන් බැවින් තම කණ්ඩායමේ අයකුට මෙම තනතුර හිමිවිය යුතුය යන්නය. විශේෂයෙන් යුද්ධය ජයග්‍රහණය කළ විරුවා වශයෙන් ගෝඨාභයගේ ප්‍රතිරූපය නැංවීම සඳහා හිටපු හමුදා ප්‍රධානියකු මෙම තනතුරට පත් කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය සමීපතම හිතවතුන් පිරිසක් සමඟ පවසා ඇත්තේ "දේශපාලන වේදිකාවට කතා පවත්වන එකයි මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් හැටියට මාධ්‍යවේදීන් එක්ක ගනුදෙනු කරන එකයි දෙකක්. කෙහෙළිය අපේ ආණ්ඩුව කාලෙ වැඩේ හොඳට කළා. මිනිහට අත්දැකීම් තියෙනවා. අනික අපි හදන්නෙ පරණ ආණ්ඩුවම තමයිනෙ. ඒනිසා ඒකෙ මාධ්‍ය ප්‍රකාශකම ගෝඨාගෙ මාධ්‍ය ප්‍රකාශක වෙන එක හොඳයි.

වෙන කවුරු දැම්මත් ඕක අනාගන්නවා, කතා දෙකක් නෑ. ඔය ගෑණු කේස් නම් ඉතිං කාටත් තියෙනවානෙ. ඔව්වා හොයන්න ගියොත් එකෙක්වත් වැඩකට දාගන්න වෙන්නෙ නෑ" යනුවෙනි.

(LNW)