Thursday, October 24, 2024
Follow Us
රනිල් හා සජිත් අතර සති දෙකක සටන් විරාමයක්

සති දෙකක කාලයක් එකිනෙකා විවේචනය නොකරමින් සාමුහිකව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය තීරණය කර ඇති බව වර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග නියෝජ්‍ය නායක ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පස් දෙනකු පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ඇමැති සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ හමු වී ඇත.

සති දෙක කාලය අවසන් වන තුරු රැස්වීම් නොපැවැත්වීමටත්, එකිනෙකා විවේචනය නොකිරීමටත් ජනාධිපතිවරණය සහ අපේක්ෂකත්වය පිළිබඳ සාකච්ඡා නොකිරීමටත් දෙපාර්ශ්වය තීරණය කර තිබේ. මේ පිළිබඳ ප්‍රගතිය විමසා බැලීමට ලබන 06 වැනිදා දෙපාර්ශ්වය යළි හමු වීමටද නියමිතය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා අතර රහසිගත සාකච්ඡාවක් ද අරලිය ගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්විණි.

මෙම සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවති අතර එහිදී ජනාධිපතිවරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහි කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබේ. ජනතාව ඉල්ලන දිනන අපේක්ෂකයා සන්ධානයෙන් ඉදිරිපත් කළ යුතු බව ඇමැති සජිත් ප්‍රේමදාස මෙහිදී පෙන්වා දී ඇත. ඒ සඳහා තමන් සූදානම් බවද ඔහු අවධාරණය කර තිබේ. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානය පිහිටුවා ජනාධිපතිවරණය ජය ගත්තද එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා දැනට සති දෙකකට පෙර ප්‍රකාශයට පත් කර සමාජ කථිකාවතෙන් ඈත් වීම එක්සත් ජාතික පක්ෂයට උරුම නොවිය යුතු බව අගමැතිවරයා සඳහන් කර තිබේ.

(Lanka Leads)