Thursday, October 24, 2024
Follow Us
අජිත් පී.ට ඊළඟ මහමැතිවරණයට නාමයෝජනාත් නොලැබෙන ලකුණු !

පක්ෂයේ විනය කඩකරමින් මෙන්ම අවම සදාචාරය හෝ නොරකිමින් ඉතාම උද්දච්ඡ ආකාරයෙන් හැසිරෙන කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සම්බන්ධයෙන් ඉතාම දැඩි තීන්දුවකට එළඹීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයට, පක්ෂ නායකත්වයට, පක්ෂයේ පරිපාලන යාන්ත්‍රණයට, පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට සහ පක්ෂ ව්‍යවස්ථාව අනුව පත්කර සිටින නිලධාරීන්ට එරෙහිව ඉතාම පහත් මට්ටමින් අවලාද, අපහාස, උපහාස, චෝදනා එල්ල කරමින් අජිත් පී. මහතා ගෙනයන ක්‍රියාදාමයට එරෙහිව අන් අයට ද පාඩමක් වන මට්ටමේ දඬුවමක් ලබාදිය යුතු බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

"කවුරු කියලද දන්නෙ නෑ මිනිහා හිතාන ඉන්නෙ ? මිනිහා නිකං යූඑන්පී එකෙ අයිතිකාරයා වගෙ මීඩියාවලට කතා කරන්නෙ. මොකෙද්ද මේ ?

මේ නාඩගම දිගටම නටන්න දුන්නොත් පක්ෂය පාලනය කරගන්න වෙන්නෙ නෑ. මේක අනිත් අයටත් බෝ වෙන්න පුළුවන්. අනික දේශපාලනය කියන්නෙ බණ්ඩාරගම පොළේ වට්ටිඅම්මා කෙනෙක් වගේ කියවන එකට නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ බණ්ඩාරගම පොළත් නෙවෙයි.

ඒනිසා අනිත් හැමෝටමත් පාඩමක් වෙන්න මෙයාට ඉන්ජෙක්ශන් එක දෙන්න වෙනවා. අනාගතයක් තිබුණු මිනිහෙක් තමයි, ඒක නැතිකරගත්තෙත් එයාමයි. මාළුවා නහින්නෙත් කට හින්දා කියලා කතාවක් තියෙනවානෙ.

මිනිහා සජිත් සජිත් කිය කියා ගියාට අඩුම ගාණෙ මීඩියාවලට කතා කරන හැටිවත් සජිත්ගෙන් ඉගෙන ගෙන නෑ. සජිත් බොහෝම පරෙස්සමින් මීඩියා ඉස්සරහා උත්තර දෙනවා, පක්ෂෙට විරුද්ධ පොයින්ට් මීඩියාකාරයින්ට දෙන්නෙ නෑ සජිත්. මේ යක්කුන්ට මයික් එකක් දැක්කාම ඉන්න බෑ, වලිප්පුව හැදෙනවා.

යූඑන්පී එකට පාර්ලිමේන්තු යවන්න ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා. යූඑන්පී එකෙන් ටිකට් එක හම්බුවෙනකල් පෙරුම් පුරන මිනිස්සු ඉන්නවා. මේකෙ වටිනාකම ඒ මිනිස්සු දන්නවා. ඒ නිසා කටට බ්‍රේක් නැති හාදයෝ මේකට ඕනෙ නෑ. අනික සජිත්ට වුණත් තේරෙනවා ඇතිනෙ දවසක ඔය යකා සජිත්ටත් කරන්නෙ ඔය ටිකම තමයි කියලා. අපි ඉක්මනින් තීරණයක් ගමු." යනුවෙන් ඔවුන් ඊයේ (30) දිනයේ පැවති විශේෂ හමුවකදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වූයේ.

(LNW)