Thursday, October 24, 2024
Follow Us
දෙහිඅත්තකණ්ඩියත් ඩිජිටල්කරණය කරන්න හදන ’ඩිජිටල් පියා’

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් විප්ලවයක් ඇති කරන පුරෝගාමියා, එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී හෝ රටේ බලයට පත්වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ උදා ගම්මාන ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පැවරීම සඳහා එක්වෙමිනි.

තමන් ජනාධිපති වූ පසුව ඩිජිටල් විප්ලවයක් ඇති කරන බවත් ඒ අනුව මෙරට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ අන් කවරෙකුවත් නොව සජිත් ප්‍රේමදාස මහතා බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඒ අනුව සෑම ගම්මානයක් තුළම ඩිජිටල් තාක්ෂණය ප්‍රචලිත කරන බවත්, බොහෝදෙනා ඩිජිටල් තාක්ෂණය ගැන පම්පෝරි ගැසුවද එය යථාර්ථයක් බවට පත් කිරීමට අසමත් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකු පුරෝගාමියෙකු ලෙස සලකන්නේ ඔහු යම් ක්ෂේත්‍රයක් තුළ සිදුකළ නව හඳුන්වාදීම් හෝ අදාල ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීම සඳහායි.

සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන්නේ, වරප්‍රසාද ලත් පංතියට පමණක් හිමිව තිබූ අධ්‍යාපන අයිතිය සියලු පුරවැසියන් වෙත ලබාදීම සඳහා සිදුකළ මැදිහත්වීම වෙනුවෙනි. එම වරප්‍රසාදය ලබාදීමට පෙර ඔහු, නිදහස් අධ්‍යාපනයේ පියා තමා යැයි කියමින් වේදිකාවල කෑගැසුවේ නැත.

ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා මෙරට ජල විදුලියේ පියා ලෙස හඳුන්වන්නේ, ජලය මගින් විදුලිය ලබා ගැනීම සඳහා ඔහු ඉටුකළ මෙහෙවර වෙනුවෙනි. එම කාර්යය ඉටු කිරීමට පෙර ඔහු, තමන් ජල විදුලියේ පියා යැයි කිසිදු තැනක ලියා තැබුවේ නැත.

රටේ මිනිසුන්, ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙස හැඳින්වූවා මිස ඩඩ්ලි සේනානායක මහතා තමා වෙනුවෙන් කිසිදු දිනෙක එවන් හැඳින්වීමක් සිදුකර ගත්තේ නැත.

ඒ එදා සිටි දේශපාලනඥයන් හා නිළධාරීන්ය.

ජාතික ප්‍රශ්නයට විසඳුම ගෙවල් සෑදීම සහ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම චෛත්‍ය සෑදීම බව විශ්වාස කරන සජිත් ප්‍රේමදාස රටේම ඩිජිටල් පියා වීමට දඟලන්නේ ඒ පිළිබඳව වැඩපිළිවෙලක් හෝ නොමැතිවය.

(LNW)