Wednesday, October 23, 2024
Follow Us
මාරාන්තික උපවාසයත් හකුළාගෙන අජිත් පී. පසුබසී

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීමට බල කරමින් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරියේ මාරාන්තික උපවාසයක් කිරීම සඳහා තිබුණු අදහස අතැර දැමීමට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

දිගින් දිගටම පක්ෂ නායකත්වය විවේචනය කරමින්, සහ පක්ෂ නායකත්වය වෙත උපහාස, අපහාස එල්ල කරමින් සිටියත් තමන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනුණු වාතාවරණයක් තුළ පක්ෂ නායකත්වය තමන්ට බියවී ඇති බව උපකල්පනය කරමින් මාරාන්තික උපවාස යෝජනාව ගෙන ආවත් තමන්ට සහ සුජීව සේනසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණ කැඳවීමත් සමඟ අජිත් පී. පෙරේරා මහතා දැඩි පසුබෑමකට ලක්ව සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රනිල්ගේ ඉවසීම පරීක්ෂා කරන්න එපා !

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය රැගෙන දීම සඳහා මීට පෙර සටන් කළ අයට අත්වූ ඉරණමත් සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවලදී ක්‍රියාකළ ආකාරයත් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු විසින් අජිත් පී. මහතාට සිහිපත් කර දී ඇති අතර දැනටමත් පමණ ඉක්මවා යන බොහෝ ප්‍රකාශ ඔහු කර ඇති බැවින් තවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රියාමාර්ගවලට කිසිසේත්ම නොයන ලෙස අවවාද කර ඇත.

කට පරෙස්සම් කරගනිමින් දෙපැත්තෙන්ම ජාම බේරාගන්නා ආකාරය සජිත්ගෙන්ම ඉගෙන ගන්නා ලෙසත් ඔවුන් අජිත් පී.ට හාස්‍ය මුසුව පවසා තිබේ.

ඒ අනුව සජිත් පාර්ශ්වයේ අනෙකුත් ඉදිරිපෙළ සාමාජිකයින් ක්‍රියාත්මක වන ප්‍රවේශම්සහගත ආකාරයෙන් මිස මින් ඉදිරියට කිසිසේත්ම "කෝච්චියට බෙල්ල තියන" පන්නයේ පියවර නොගන්නා බවට ඒ මහතා සහතික වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

(LNW)