Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට වසර 20 ට පසු කාන්තාවක්

2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා නම්කර තිබේ.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය ය.

පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක ලෙස ද කටයුතු කර තිබේ. ඇය, ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව මුලිකත්වය ගෙන කටයුතු කරන අතර සමාජ සේවිකාවක ලෙස ද ප්‍රකටය.

අඟහරුවාදා (අගෝස්තු 27) කොළඹ පැවති උත්සවයකදී, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඇයව නම් කළේය.

"මට මෑතකදී හිතුන දෙයක් තමයි ඇයි අපි පාර්ලිමේන්තුවේ තියෙන මේ ළදරු පාසලට උදව් කරන්න යන්නේ කියලා? මොකද ඒගොල්ලන්ගේ අරමුණ මුදල් හම්බකරන එක. ඒ අය පෝසත් වෙනවා. රට පිරිහෙනවා. ඒ නිසා මට ආපු සිතුවිල්ල තමයි මටත් මේ දේශය පාලනය කිරීමට හැකියාවක් තියෙනවනම් ඇයි මම ඒ සියල්ල පැත්තක දාල මේ ළදරු පාසලකට ටියුෂන් දෙන්නේ කියලා," ආචාර්ය අජන්තා පෙරේරා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියාය.

"ඒ නිසයි මම තීරණය කළේ මම තරග කරනවා කියලා. මොකද මට මම ගැන විශ්වාසයි. මම නිසා මේ රටට කිසිදු නරකක් වෙන්නේ නැහැ හොඳක් මිසක්," ඇය කියා සිටියාය.

"අනිවාර්යෙන්ම හොඳ තරගයක් දෙන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුයි. බොරුවලට රැවටෙන්න හොඳ නැහැ. සමහර අය කියනවා නිවාස හදනවා කියලා මම විශ්වාස කරන දේ තමයි අපි ජනතාවට නිවාස හදලා දෙන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ ඒ අයට මුදල් හම්බකරල නිවසක් හදන්න පුළුවන් ආර්ථිකයක් ගොඩ නගන එක. ඒවගේම තව අය කියන දෙයක් තමයි මේ රටේ ආරක්ෂාවට ඒ අයව පත්කරන්න කියලා. අපි ජනතාව සමගි කරනවානම් රටේ ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාව අසමගියෙන් ඉන්න තාක්කල් තමයි රට තුළ ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ." ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියාය.

"අජන්තා පෙරේරා හිටගන්නේ හොඳ වැඩපිළිවෙක් එක්ක, ප්‍රතිපත්තිත් එක්ක. ඒ නිසා ජනතාව බුද්ධිමත් නම් ජය නියතයි" ඇය පැවසුවාය.

'කාන්තාවන් නැති' ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ
දේශපාලන වේදිකාව කාන්තාවන්ට අකැප ද?
විකල්පයක් ඉල්ලන නමක් නැති විරෝධය
"අම්ම තමයි පවුලක වුණත් ප්‍රධානියා ලෙස කටයුතු කරගෙන ඒ රටට දර්ශනයක් දෙන්නේ. ඒ නිසා අම්ම කෙනෙක්ට රටට දර්ශනයක් දෙන්න අමාරු නැහැ. අම්මාවරුන් වාසනාවන්තයි මේ ලංකාව ගොඩනගන්න අම්ම කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු වාසනාවක්." වසර 20 කට පසු කාන්තාවක් ජනාධිපතිධුරයට තරග කිරීම ගැන අදහස් දක්වමින් ආචාර්ය අජන්තා පෙරේරා පැවසීය.

"මගේ බලාපොරොත්තුව තමයි කාන්තාවන් ඉදිරියට ගෙන ඒම. අපිට අවශ්‍ය යම් දැක්මක් ඇති කාන්තාවන් පිරිසක්. කාන්තාවන්ට දේශපාලනයේ ඉදිරියට යන්න යම් අවහිරතාවක් තියෙනවා. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ," ඇය කියා සිටියාය.

රටේ ප්‍රධාන පක්ෂ පිළිබඳව ජනතා විශ්වාසය බිඳවැටී ඇති මේ මොහොතේ වංචාව හා දුෂණයෙන් තොර යහපත් රටක් ගොඩනැගීම සඳහා සියලුදෙනා තමන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

(BBC)