Monday, October 21, 2024
Follow Us
දේශපාලකයෝ දන්න වඳ පෙත්තක් නැහැ

වෛද්‍ය විද්‍යාව ගැන නොදන්නා දේශපාලනඥයින් වඳපෙති සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරිම ගැටලු සහගත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එමගින් විශාල හානියක් සිදුවන බවත්, නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන ජනතාවට ලැබුණු සහනය අහිමි වී ගිය බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආහාර මගින් වඳභාවයට පත් වන බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

කොළඹ ජාතික රෝහල දකුණූ කොළඹ ශික්ෂණ රෝහල, ඇතුලු රෝහල් 03 කට දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට නොමිලේ ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ස්වේච්ඡා සංවිධානයක් විසින් සිදුකරගෙන යන ලදි. එම වැඩපිළිවෙල තුළින් ජනතාවට වඳභාවයට පත්වන බව මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

මෙම ආහාර පාන ලබාදීම රෝහල් පරිශ්‍ර තුළ සිදු නොවූ බවත්, ඉන් පිටත සිදු වූ බවත් මේ පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ආහාර මගින් කිසියම් පුද්ගලයෙකු වඳභාවට පත් කිරීමට නොහැකි බව විද්‍යාත්මක මතය යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

“වඳ පෙති” නමින් ජනතාව හදුන්වන පෙති මගින් ද වඳභාවයට පත් නොවන බව පසුගිය කාලය පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර සිටියේ ජනතාව අනියත බියක් ඇතිකර ගත් නිසාවෙනි.

එහෙත් දේශපාලන වුවමනා ඉටුකර ගැනීම වෙනුවෙන් තවදුරටත් නැති බිල්ලන් මැවීමට දේශපාලකයන්ම කටයුතු කරමින් හිඳියි.

(LNW)