Sunday, October 20, 2024
Follow Us
රාධාත් පැත්ත තීරණය කරයි

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනයාගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ 23 පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන හෙයින් ඊළඟ පියවර ගැන සිතිය යුතු බවයි ඔහු කියා සිටියේ.

"අපි දැන් ඊළග ජනාධිපතිවරණය ගැන සිතන්න ඕනැ කාලේ ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී ආයේ ඉල්ලන්නේ නැහැ කියලා අපිට දැන ගන්න ලැබුණා. අපි කඳුකරයේ ඉන්න ජනතාව විදිහට කඳුකරයේ ජනතාවට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකෙනෙක් පත්කර ගන්න ඕනෑ. එක් දහස් නවසිය අසු ගණන්වලදී හිටිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ගැන හිතලා යම් කිසි වැඩක් කළා. ඒක අපි අගය කළ යුතුයි. එතුමා 1989 වතුකරයේ ජනතාවට පුරවැසිභාවය දුන්නා. අද අපි ඡන්දය දාන්නේ එක නිසයි.

ඒක නිසා වතුකරයේ ජනතාව එතුමා ඉතිහාසයේ කරන ලද වැඩ අමතක කරන්න හොද නැහැ. ඒක නිසා එතුමාගේ උරුමකරුවෙකු ඉල්ලනවානම් අපි වතුකරයේ ජනතාව එතුමාට සහයෝගය දෙන්න ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා.

වතුකරයේ ජනතාවට පමණක් නෙවෙයි එතුමා ලංකාවේ සියළුම ජනතාවට උදව් කළා. විවිධ වැඩ කොටස් රැසක් සිදු කළා. ගෙවල් හදලා දුන්නා. විසිපන් දහසක් ගුරුවරු පත් කළා. පාසල් ළමුන්ට දිවා ආහාරය මෙන්ම නිල ඇදුම් ලබා දුන්නා. ඒ වගේ විශාල වැඩ කොටසක් කරලා තිබුණා."

එවැනි ජනාධිපතිවරයෙක් නැවත පත්වන්නේ නම් එවැන්නෙකුට සහයෝගය දීමට වතුකරයේ ජනතාව සුදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(LNW)