Thursday, October 24, 2024
Follow Us
‘‘එක් මාවතක් – එක් තීරයක් ව්‍යාපෘතිය‘‘ අගය කරමින් අගමැති ඉන්දියාවේදී කළ කථාවට චීන රජයෙන් මල් මිටක්

චීනය ක්‍රියාත්මක කරන එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රතිලාභ ලැබී ඇති බටව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් කළ ප්‍රකාශය චීනයේ ඇගයීමට ලක්ව තිබේ.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දිනපතා පවත්වන මාධ්‍ය හමුවට ඊයේ (11දා) ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක ගෙංග් ෂුආන්ග් මෙම අගය කිරීම කළේය.

ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපායට සම්බන්ධ ව්‍යාපෘති හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා චීනය ණය ලබාදෙන බවත් දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් ශ්‍රී ලංකාව සමඟ එක් මාවතක් එක් තීරයක් සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය සූදානම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ මෙම ප්‍රකාශය අපි අගය කරනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව අවංක අන්‍යෝන්‍ය සහයෝගය සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූවක්.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය සම්බන්ධ අනෙකුත් ප්‍රධාන දේශීය ව්‍යාපෘති සඳහා චීනය ණය ලබා දුන්නා. මෙම ව්‍යාපෘති හා ණය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වී තිබෙනවා. දේශීය රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙන අතර රටේ තිරසාර සංවර්ධනයට දායක වී තිබෙනවා. එම ප්‍රතිඵල රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව පැසසුමට ලක් කර තිබෙනවා. දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක් මාවතක් එක් තීරයක් සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය සූදානම්.”

චීන ජනපති ෂී ජින්පිං එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය 2013 වසරේදී ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා ඔවුන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි. 2020-2030 අතර කාලයේදී පමණක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔවුන් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.3කට ආසන්න වෙයි.

ගිණිකොනදිග ආසියාව, මධ්‍යම ආසියාව, ගල්ෆ් කලාපය, අෆ්‍රිකාව හා යුරෝපය ගොඩබිමින් හා සාගරයෙන් යා කිරීමට චීනය මෙම එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

(Lanka Leads)