Wednesday, October 23, 2024
Follow Us
මැලේසියාවේ සිටි ප්‍රබල කොටි දෙදෙනෙක් ශ්‍රී ලංකාවට

මැලේසියාවේ හා ඉන්දියාවේ සිට එල්.ටී.ටී.ඊ. යළි සක්‍රිය කිරීමට වෙර දරන ලද ඉලක්කියන් මාස්ටර් නමැත්තා ජනාධිපතිවරණයට පෙර මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වේ. එම බුද්ධි තොරතුරු මත පොලිසිය හා ආරක්ෂක අංශවලට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ඇතුළු ප්‍රභූ ඉලක්ක ගැනීමට පුදුකුඩිඉරිප්පුහි දිනේෂ් හා කරන් නමැති දෙදෙනාට ස්නයිෆර් අවියක් ලබාදුන්නේත් මෙම ඉලක්කියන් මාස්ර් බව පැවසේ.

ඉලක්කියන් මාස්ටර් නැගෙනහිර සිටි කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ අතර මොහු 2018 ජුනි මාසයේදී ඉන්දියාවට පැනගොස් තිබිණි.

ඉන්දියාවේ ආරක්ෂක අංශවලට කොටුවී බන්ධනාගාරගතව සිටි ඉලක්කියන් මාස්ටර් සති කිහිපයකට පෙර මෙරටට පැමිණි බව හෙළිවී තිබිණි. මීට අමතරව මැලේසියා හා ඉන්දියාවේ සිට මෙරටට කොටි කණ්ඩායම මෙහෙය වූ සිරන්ජිව් මාස්ටර්ද ජනපතිවරණයට දිනකට පෙර මෙරටට පැමිණි බව හෙළිවී තිබිණි.

මේ අයුරින් ජනාධිපතිවරණයට පෙර මෙරටට පැමිණි බව කියන කොටි නායකයන් දෙදෙනා අතරින් ඉලක්කියන් මාස්ටර් ගැන අවධානයෙන් සිටින්නැයි දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබිණි.

පසුගිය රජය සමයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් පුදුකුඩිඉරිප්පුවෙන් මතුවූ දිනේෂ් කල්ලිය ප්‍රභූ ඝාතනයකට ඉලක්කියන් මාස්ටර්ට ස්නයිෆර් අවියක් යැවූ සිද්ධිය යටපත් කළ බවට චෝදනා නැගුණි.

(Aruna)