Wednesday, October 23, 2024
Follow Us
මාලදිවයිනේ ශ්‍රී ලංකාවට ප්‍රශංසා

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

 

මෙම හමුවේදී ඔවුන් දැනට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපන සහ සංස්කෘතික කෙෂ්ත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සංචාරය අතරතුර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ සෞඛ්‍ය හා සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පැවසු අතර ඒ යටතේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවීමට ද යෝජිත බව සඳහන් කළේය.

ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර වෙළඳාම සහ ආයෝජන, ආරක්ෂක, සංචාරක, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා,තරුණ කටයුතු, ක්‍රීඩා සහ කුසලතා සංවර්ධනය, කොන්සියුලර් සබඳතා සහ සංස්කෘතික කටයුතු ඇතුළු බහුවිධ ක්ෂේත්‍රවල පවත්නා සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාලදිවයින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන අභියෝග දෙකෙන් මිදී රට ලබා ඇති වේගවත් ප්‍රකෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම අමුත්තන් මවිතයට පත්වන බවයි.

යුනෙස්කෝ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ගුරුවරුන් යොමු කොට ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීමට මාලදිවයිනට අවස්ථාව විවෘතව ඇති බවත් ආසියානු සංවර්ධන අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ඇතිව ඔවුන්ට ශිෂ්‍යත්ව ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.