Wednesday, October 23, 2024
Follow Us
ආසියාවේ ක්‍රීඩා අමාත්‍යවරුගේ සමුළුවක් ශ්‍රී ලංකාවේ දී

18 වන ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක මර්ධනය පිළිබද සමුළුව (AORIM) 2023 ජුනි 12 සහ 13 දෙදින කොළඹදී පැවැත්වේ.


ඒ පිළිබදව මාධ්‍ය හමුවක් අද (07) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවැත්විණි.

ඈත අතීතයේ මිනිසාගේ ජීවිතේ විනෝදාස්වාදය සදහා වූ ප්‍රමුඛතම ක්‍රියාවක් ලෙස පැවති ක්‍රීඩාව මෑත කාලීනව වානිජමය ස්වරූපයක් ගැනීමත් සමගින් වර්තමානයේ එය බොහෝ තරගකාරි ස්වාභාවයක් ගෙන තිබේ. ක්‍රීඩාවේ ජීව ගුණය රැකගැනීමට එදා සිට අද දක්වා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නොයෙකුත් නිති රීති හා අන පනත් සම්මත වී ඇත.
ඒ අතරට කෙටි කාලීන හා කෙටි ක්‍රම මගින් ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා තහනම් උත්තතේජක වර්ග භාවිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සීඝ්‍ර නැඹුරුවීමක් දක්නට ලැබුණි. එය ක්‍රීඩාවේ ජීව ගුණයට විශාල බලපෑමක් ඇති කළේය. තහනම් උත්තේජකවලින් තොර ක්‍රීඩාවක් මගින් සෑම ක්‍රීඩකයෙකුටම සමානාත්මතාවක් ඇති කිරීම උදෙසා ලෝක තහනම් උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය (WADA)බිහි විය.
ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සදහා ද, ශ්‍රී ලංකාව තුළ උත්තේජක මර්ධන කටයුතු බලාත්මක කිරිම සදහා ද 2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දි උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත 2013 සැප්තැම්බර් 09 වන දින කෙටුම්පත් කරන ලදි. ඒ වෙන්වෙන් ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය ලෙස නව ආයතනයක් බිහි විය.
එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව තහනම් උත්තේජක භාවිතය අවම රටක් ලෙස ඉදිරි පෙළ නියෝජනය කිරීමට සමත්ව ඇත. ලොව පුරා ක්‍රීඩාවන්හි යෙදෙන රටවල් අතර අප රට ගෞවරයෙන් සිහිපත් කරයි. එය අප රටට මහත් කීර්තියකි.
එහි දිගුවක් ලෙස 18 වැනි ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක මර්ධනය පිළිබද රැස්වීම කොළඹ දි පැවැත්වීමට ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායනය (WADA) කටයුතු සැළසුම් කර ඇත. ඒ අනුව 2023 ජූනි 12 සහ 13 දෙදින් කොළඹ සිනමන් ලේකසයිඩ් හෝටලයේදී මෙම සමුළුව පැවැත්වේ.
කොවීඩ් 19 වසංගතයේ සිට අප සැවොම මුහුණ දෙන ගෝලීය අභියෝග නොතකා මේ වන විට බොහෝ දේ සාක්ෂාත් කරගෙන ඇති අතර, ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජ්‍යායතනය (WADA) ශ්‍රී ලංකාවට ලබා දුන් මෙම අවස්ථාව රටක් ලෙස අපට බෙහෙවින් වටිනාකමක් ගෙන දෙන්නේය. ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල් 39 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයින්, රටවල් 9 ක ක්‍රීඩා අමාත්‍යවරුන්, WADA හි සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකු මෙම සමුළුව නියෝජනය කිරීමට පැමිනෙති. ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීමට සාකච්ඡා කිරීමට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම මෙන්ම මේ හරහා ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත ස්ථානයක් ලෙස ගෝලීය ප්‍රතිරූපය ඉහල නැංවීමට හා ජාත්‍යන්තර සබදතාවල ධාරිතාව ඉහළ නැංවිය හැකි අවස්ථාවක් ලෙස මෙම සමුළුව අපට බොහෝ සේ උපකාර වේ.
තහනම් උත්තේජක භාවිතයෙන් වැලකී ක්‍රීඩාවෙහි යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා අවශ්‍යය තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම වැඩිදියුණු කිරීමට අපට එක්ව කටයුතු කළ හැකිවන පරිදි කලාපයේ සියලුම තහනම් උත්තේජක විරෝධී පාර්ශවකරුවන් එකට එකතු වී කටයුතු කිරීම මෙහි අරමුණ වී ඇත.
ආසියා ශාන්තිකර කලාපය තුළ ඇති අභියෝග සහ WADA නීති සංග්‍රහය යටතේ රජයන්හි කාර්යභාරයන් සහ වගකීම් පිළිබදව ඉගෙන ගැනීමට මෙම සමුළුවට සහභාගී වන සියලුම රටවල් සදහා හොද අවස්ථාවක් හිමි වේ. 2023 සහ ඉන් ඔබ්බට WADA හි උපායමාර්ගික ප්‍රමුඛතා මෙම සමුළුවේ දී සාකච්ඡා කිරිමට නියමිතය.