Thursday, October 24, 2024
Follow Us
උස්බෙකිස්තානයේ හිටපු ජනපති දියණිය රටවල් 12කින් ඩොලර් බිලියනයක් වංචා කරලා

උස්බෙකිස්තානයේ හිටපු ඒකාධිපති පාලක ඉස්ලාම් කිරිමෝව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා ජාත්‍යන්තර අපරාධ කල්ලියක කොටස්කාරිනියක ලෙස ලොව පුරා රටවල් 12ක අමෙරිකා ඩොලර් බිලියනයක වංචාවක් සිදු කර ඇතැයි බ්‍රිතාන්‍ය වාර්තාවක් අනාවරණය කර තිබේ.

ලන්ඩන් නුවර සිට හොංකොං දේශය දක්වා සුඛෝපභෝගී මන්දිර හා දේපළ මිලදී ගැනීමට උස්බෙකිස්තාන රජයට අයත් ඩොලර් මිලියන 240ක මුදල් සම්භාරයක් වංචා කර ඇති මේ සුරූපි කාන්තාව බ්‍රිතාන්‍යයේ සමාගම් රැසක් මාර්ගයෙන් අති සුඛෝපභෝගී නිවාස සහ පෞද්ගලික ජෙට් යානයක් ද මිලදී ගෙන ඇතැයි එම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි වී තිබේ.

සොරකමට මෙන්ම ගායනයට ද හපන් කම් ඇති මේ කාන්තාව ගුගූෂා නමින් සමාජමාධ්‍ය ජාලයේ ගායිකාවක ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි අතර, සිය පියා 1989 සිට 2016 දක්වා උස්බෙකිස්තානයේ ජනපතිධුරයේ කටයුතු කළ කාලසීමාවේදී අතිවිශාල මුදලක් වංචා කිරීමෙන් පියාගේ නියෝගය මත නිවාස අඩස්සියේ ද පසු වූවාය. ඇගේ මුදල් වංචා පිළිබඳ පසුගිය කාලයේ අනාවරණය වුව ද, අපරාධකරුවන්ගේ මුදල් විශුද්ධිකරණය සඳහා බ්‍රිතාන්‍ය රජය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ගුල්නාරා වංචාසහගතව උපයාගත් ධනයෙන් මන්දිර හා දේපළ විශාල ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ. 2016 වසරේදී මිය යනතුරුම උස්බෙකිස්ත­ානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඉස්ලාම් කිරිමෝව් සිය හිතුවක්කාර දියණිය නිවාස අඩස්සියේ කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇය සිරගත කිරීමට නියෝග කර තිබූ අතර, ඇය බන්ධනාගාරයෙන් නිදහස් වූයේ පියාගේ අභාවයෙන් පසුවය.
 
Dinamina