Thursday, October 24, 2024
Follow Us
අන්තර් ජාතික ව්‍යාපාරික ආයතන ජාලයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය - විදේශ ඇමැති

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා, ඊයේ (09) අතථ්‍ය ආකාරයෙන් පැවති බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 19 වැනි අමාත්‍ය රැස්වීම ඇමතී ය.

රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය අලි සබ්රි මහතා, ගෝලීය ආර්ථික වර්ධන ගමන් පථය ආසියාව දෙසට යොමුව ඇති බැවින්, ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා බිම්ස්ටෙක් රටවල වෙළඳ හා ආයෝජන සංරචකය යළි පුබුදුවාළිය යුතු බව සඳහන් කළේ ය. එක් එක් රටවල සංසන්දනාත්මක ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර් කලාපීය වෙළඳාම ඉහළ නැංවීම සඳහා සහයෝගිතා ප්‍රයත්න ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඒ් මහතා පෙන්වා දුන්නේය. වෙළඳ හා ආයෝජන ප්‍රවාහය වැඩිදියුණු කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වූත් ගතික බවින් යුක්ත වූත් පෞද්ගලික අංශ ජාලයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන මෙවලමක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය පෙරමුණ ගත යුතු බවද මෙහිදී අවධාරණය කළේ ය. මෙවැනි පසුබිමක් තුළ, වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව පවතින කැපවීම පිළිබඳව යළිත් අවධාරණය කළ අමාත්‍යවරයා, සියලු දෙනාටම පරිවර්තනීය ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා ඉවහල් වන, අන්තර් කලාපීය ආයෝජන දිරිගන්වන අන්තර් ජාතික ව්‍යාපාරික ආයතන ජාලයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන් කළේ ය.
මෙම රැස්වීම අතරතුර, බිම්ස්ටෙක් බැංකොක් දැක්ම 2030 (BIMSTEC Bangkok Vision 2030), සමුද්‍රීය ප්‍රවාහන සම්බන්ධතා පිළිබඳ ගිවිසුම සහ බිම්ස්ටෙක් හි කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවීම වැනි වැදගත් කරුණු සාකච්ඡාවට බඳුන් කෙරිණි. තායිලන්තයේ සභාපතිත්වය යටතේ පැවති මෙම අමාත්‍ය රැස්වීම, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන බිම්ස්ටෙක් රටවල විදේශ කටයුතු අමාත්‍යවරු ඊට සහභාගි වූහ.